එක්සත් රාජධානියේ රජගෙදර දරුවන්ට ජංගම දුරකතන තහනම්! – හේතුව මෙන්න

ජංගම දුරකථනයක් හෝ ටැබ් එකක් අතට දුන්න ගමන් අද කාලේ හැදෙන බොහෝ දරුවන් නළවා ගන්න පුළුවන්. පුංචි දරුවන්ට බත් කවද්දී අද හුගක් දෙමාපියන් පාවිච්චි කරන්නේ ටැබ් එකක් නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථනයක්. ලෝකය ගැන නොසංසිඳුනු කුතුහලයක් ඇති පොඩි දරුවනුත් මේ උපකරණ පාවිච්චි කරන්නේ හරියට ඒවාටම වශී වුණු ගානටයි.

දරුවා ගැන වැඩිය මහන්සි නොවී ඉන්න පුළුවන් නිසා එහෙම හරි පොඞ්ඩක් දරුවා නිහඬ කරන්නට අපේ දෙමාපියනුත් හරි කැමතියි.

නමුත් එංගලන්තයේ ඔටුන්න හිමි පැටවු දෙන්නාට නම් කිසිම දවසක මේ වන තුරු ජංගම දුරකථනයක් අතට දී නැති බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන් නළවාගන්නට රජ පවුලේ අය භාවිත කරන්නේ ටෙඩි බෙයාර්, සෙල්ලම් කෝච්චි, කාර්,මල්, චිත‍්‍ර, සතුන් වැනි දේවලූයි.

ලෝකයේ හොඳම දුරකථනය රාජකීය පැටවුන්ට ගෙනත් දෙන්නට කේට්- විලියම් යුවළට මුදල් නැතිව නෙමෙයිනේ…

ඒත් දරුවන් ගැන ඇති ආදරය නිසාම, හිතාමතාම තමන් එහෙම නොකරන බව කේට් මිඞ්ල්ටන් පවසා තිබුණා.

කේට්ගේ කතාව අතිශය විද්‍යාත්මක බව වෛද්‍ය විද්‍යා වෙබ් අඩවි ගණනාවක් තහවුරු කරනවා. විශේෂයෙන්ම ළදරුවන් නළවා ගන්නට දුරකථන අතට දීමේ පුරුද්ද නිසා ඔවුන්ගේ මානසික සෞඛ්‍යය වගේම කායික සෞඛ්‍යයත් දුර්වල වන බව විද්‍යාඥයන් හොයාගෙන තිබෙනවා.

දුරකථන සංඥා කිරණ වැඩිහිටියෙකුගේ මොළය මත ඇති කරන අහිතකර බලපෑම මෙන් විසි ගුණයක බලපෑමක් දරුවන්ගේ මොළය මත සිදු කරන බව අනාවරණය කරගෙන තිබෙනවා. නමුත් මෙහි කායික විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන්නට තවම කාලය උදාවෙලා නැති බව තමයි වෛද්‍යවරු පවසන්නේ. මොකද දුරකථන අතැතිව ලොකු මහත් වෙන පළමු පරම්පරාව අද කාලේ දරුවන් වන නිසා ඔවුන් වැඩිහිටි වියට පැමිණි විට පත්වන රෝගාබාධ ගැන තවම සිදු කරන්නට පුළුවන් වන්නේ උපකල්පන පමණයි.

කොහොම නමුත් පිළිකා, ස්නායු පද්ධතිය සහ මොළය ආශ‍්‍රිත රෝග ගොන්නකත් මදසරුබව, ප‍්‍රතිශක්තිය දුර්වලවීම වැනි තත්වයන් කිහිපයකත් හිමිකරුවන් වෙන්නට දරු පරපුරට සිදු විය හැකි බව නම් දැනටම වෛද්‍යවරු උපකල්පනය කර අවසානයි. ළපටි වයසේදි බොහෝ වෙලාවක් දුරකථන තිර දිහා බලාසිටින දරුවන්ගේ ධාරණය සහ බුද්ධි වර්ධනය දුර්වල බවත් කියැවෙනවා.

ඒ කායික විද්‍යාත්මක පැත්තනේ.. දරුවන්ට ආදරේ නම් ඔවුන් කෙරෙන් ජංගම දුරකථන ඉවත් කර තබන්නට ඒ කාරණා හොඳටම ප‍්‍රමාණවත් බව අපි දන්නවා.

නමුත් කතාව එතැනින් ඉවර නැහැ.

කුඩා දරුවන් අතට ජංගම දුරකථන ලබා නොදීමට සමාජ මනෝ විද්‍යාත්මක හේතුත් තිබෙනවා. ඒ අතර පළමුවැන්න නම් දරුවා සමාජය සමග මුහුවන්නට නොදැන ලොකුමහත් වීමයි. දුරකථනය දෙස බලාගෙන වැඩෙන දරුවන්ට ඉවසීම, බෙදාගැනීම, ආදරය කිරීම, ස්වභාවික පරිසරය ගැන අවබෝධය ලැබීම ආදිය මගහැරෙන නිසා ඔහු කෙරෙන් බිහිවන්නේ අසමතුලිත මිනිසෙකුයි.

අයිස් සීතල බවත්, ගින්දරට පිච්චෙන බවත්, මල් සුවඳ බවත් දරුවන් ඉගෙන ගන්නේ අත්දැකීමෙනුයි. ක‍්‍රීඩා භාණ්ඩයක් කඩා එය නැවත අමුණා බලන දරුවෙක් එතුළින් විශාල දෙයක් අත්දකිනවා. කුඩා දරුවන් හැම අත්දැකීමකින්ම බොහෝ දේවල් උරාගන්නවා. කියමනට කියන්නේ දරුවන්ගේ මොළය වියළි ස්පොන්ජ් එකක් වගේ කියායි. ඔවුන් අවට පහළ ඇති හැමදෙයක්ම උරාගන්නේ පිපාසිතවයි.

හැබැයි දෙමාපියන් නගන තර්කයක් නම් දුරකථන සහ ටැබ් හරහා අන්තර්ජාලයට පිවිසෙන දරුවන් අලූත් ලෝකය ගැන ඉගෙන ගන්නා බවයි. ඒක එක අතකින් හරි. නමුත් අන්තර්ජාලය කියන්නේ අසීමිත තොරතුරු ගොන්නක් ඇති තැනක්. දරුවන්ගේ මනසට ඔරොත්තු දෙන දේවල්වලට වඩා ඔවුන්ට ඔරොත්තු නොදෙන දේවල් එහි වැඩියි.

ඔවුන්ට අලූත් ලෝකය ගැන අන්තර්ජාලයෙන් උගන්වන්නට අවශ්‍ය නම් ඔවුන් තරමක් වැඩුණු පසුව ඔබේ අධීක්ෂණය යටතේ පරිගණකයකින් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න.

කුඩා දරුවන් අතට ටැබ් සහ ජංගම දුරකථන ලබාදී ඔවුන් නළවන දෙමාපියන්ට විදෙස් සගරාවක අවවාද කර තිබුණේ එම ක‍්‍රියාව දරුවාගේ මොළය විදුලි පෝරණුවක බහාලනවාට සමාන කරමිනුයි.

ඉතින් දරුවන් නළවාගන්නට ගස් වැල් මල් සෙල්ලම්බඩු අවට පරිසරයේ ඕනෑ තරම් තිබියදී විදුලි පෝරණු භාවිත කරන්න වුවමනා නෑ නේද?

සාවිත‍්‍රි විතානගේ

Comments

comments