කෝටි 1380ක් වියදම් වන තායිලන්ත රජුගේ ආදාහන පූජෝත්සවයේ සියලු තොරතුරු මෙන්න | PHOTO & VIDEO

මෙම ආදාහන උත්සවය සඳහා දහස් සංඛ්‍යාත ජනතාව තායිලන්තයේ බැංකොක් අගනුවර වීදි දෙපස සංයමෙන් යුතුව බිම වාඩි වී සිටගෙන සිටින අයුරු දක්නට ලැබිණි. ඒ, දහස් ගණනක් වූ භික්ෂූන්ට මාවතේ ඉඩ වෙන් කර දෙමිනි. ඒ භික්ෂූන් වහන්සේලො මේ යෙදෙන්නේ පිණ්ඩපාත චාරිකාවකවත්ද..?

ග්‍රෑන්ඩ් පැලස් හි සිට ස්වර්ණමය මංජුසාවක් රාජකීය ගෞරව මැද මහා පෙරහැරකින් වඩම්මාවගෙන එනු ලැබෙයි. රත්තරනින් සැරසූ යුධ නැවකට නොදෙවෙනි ඒ දේහය සහිත දෙණ සෙමෙන් සෙමෙන් ඇදී එද්දී පුරවැසියෝ ෂඩාස්‍රාකාර ගල් ඇල්ලූ හැඩැති පදික වේදිකා මත මුනින් තලා වැටී, දෑත් නළලේ තබාගෙන සිටිති. මේ වැළපෙන්නන් අනිවාර්යයෙන්ම කළු ඇඳුමින් සැරසී සිටිය යුතු ය. රටවැසියන් සමස්තයක් ලෙස ගත් විට රජුගේ මරණින් වසර 2 ක් යන තෙක් කළු හැඳිය යුතු බවට ද රාජ නීතිය අනුව මීට කලින් කියැවී තිබුණේය.

භූම්බෝල් රජු කිරුළ භාරගත්තේ වයස අවුරුදු 18 දී ය. මළේ අවුරුදු 88 දී ය. ඔහු රට අවුරුදු 70 ක් පාලනය කළේය. ලෝකයේ වැඩිම කාලයක් කිරුළ දැරූ අධිරාජ්‍යයා යනුවෙන් එකල අන්වර්ථ නාමයෙන් හැඳින්වූයේ ද ඔහු ය. වෙනත් වචනවලින් කියනවා නම් අවුරුදු 70 ක්ම රටවැසියා ඔහු කියන පරිදි ජීවත් වුණේය. දැන් ද ඔහුගේ අළු බඳුන ඇස් මානයෙන් රැගෙන යන තෙක් ඔවුන්ට නළල බිම හප්පාගෙන සිටින්නටත් සිදුව තිබේ. මගුලක් දෝයි සැක සිතෙන මේ අවමගුල පුරා දින 5 ක් පැවැත්වෙන්නේ ය. ඒ කියන්නේ බැංකොක් වැසියන් පුරා දින පහක්ම මේ වහන්සේ වෙනුවෙන් නළල බිම ඔබාගෙන සිටිය යුත්තේය. සමහර රටවල රජුන් ගෙදර ගියත්, ගෙදර යැව්වත් – අන්තිමට මළත් රටවැසියාට සැනසිල්ලක් නම් නැත!

ආදාහන උත්සවය සඳහා වෙන් කර ඇති ඩොලර් මිලියන 90ක බජට් එක තුළ කෙරෙන කටයුතු බොහොමයකි. පුරාතන අවමංගල්‍ය චාරිත්‍ර විධි මෙන්ම බැංකොක් නගරය පුරා කරවන වීදි සංචාර ද එයට ඇතුළත් ය. කොටස් හයකින් පෙරහැර කරන්නට නියමිත ය. පෙරහැර කරන්නන්ගේ හමුදාව පමණක්, 5000 කින් යුක්ත ය. පිරිස හසුරවාලීම පිණිස 230,000 ක පොලිස් භටයන් පිරිසක් යොදවා තිබේ. රෝයල් ක්‍රිමටෝරියම හෙවත් රාජකීය ආදාහනාගාරය වෙත එය අවසානයේ ගෙන යා යුත්තේ වෙයි. රාජකීය දෙණ රන් ආලේපිත ය. එය තට්ටු තුනකින් සමන්විත ය. දිග අඩි 165 කි.

ඉදිරි දිනවලදී ලොව පුරා සම්භාවනීය අමුත්තන් සහ රජ පවුල්වල සාමාජිකයන් රටවල් 42 කින් තායි රජුගේ ආදාහන උත්සවය වෙනුවෙන් පැමිණෙන්නට නියමිත ය. බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු, ජපානයේ අකිෂිනෝ කුමරිය මෙන්ම නෙදර්ලන්තයේ, බෙල්ජියමේ, ස්පාඤ්ඤයේ සහ ස්වීඩනයේ රජ පවුල්වල සාමාජිකයන් එම ලැයිස්තුවේ සිටින අතර ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ද පැමිණෙන්නට නියමිත ය.

රජුගේ ආදාහනෝත්සවය කරන්නට යන්නේ රනින් කළ පුරවරයක් බඳු මේ බිමේදී ය. සෙන්ට්‍රල් බැංකොක් හි ඉදිකර ඇති මෙහි තේමාව අපූරු ය. තායිලන්තය ‘පට්ට’ බෞද්ධ රටක් බව අපි දනිමු. ඒ මදිවාට එහි තිබෙන්නේත් පිරිසිදු යැයි කියන ථේරවාදී බුද්ධාගම ය. බුද්ධ ධර්මය නොව බුද්ධාගම ඇති කොයි රටේත් සිදුවන අන්දටම හින්දු වත් පිළිවෙත් සහ හින්දු විශ්වාසයන්ගෙන් බෞද්ධ සංස්කෘතිය වැසී ගොසිනි. තායි රජුගේ ආදාහන චිතකය ට සිදුවන්නට යන්නේත් එයම ය. ඔහුගේ රෝයල් ක්‍රිමටෝරියම ඉදිකර තිබෙන්නේ තනිකරම හින්දු දේව කතාවල තේමාවන්ට අනුව ය.! එහි රනින් කළ හින්දු, ශිව දේව ප්‍රතිමාවලට සමාන රූප 600 ක් තිබේ. ‘හින්දු විශ්වයේ ශුද්ධ වූ කේන්ද්‍රය’ මෙමගින් සංකේතවත් වන බව සීඑන්එන් පුවත්සේවය පවසන්නේය. එයින් අදහස් කරන්නේ මහමෙරු පර්වතයයි. කෙසේ නමුත්  ජනතා මුදලින් ඉදි කළ මේ සියල්ල අවසානයේ ජනතාවගේ ඇස් ඉදිරියේදීම දවා හළු කිරීමට නියමිත ය.

එක රැයකින් මෙම සංකල්පය නිර්මාණය කර තිබෙන්නේ තායිලන්තයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ශිල්පීන් දෙදෙනෙක් විසිනි. තායි රජු මියගිය බව සැළවූ දිනයේම ගෘහනිර්මාණ ශිල්පී ත්‍රීචට් වීරයුත්තනන් සහ කලා තාක්ෂණ ශිල්පී කෝකියත් තෝන්ෆුට් හට රජ මාළිගයෙන් ඒ සඳහා ඇණවුම සහ නියෝගය ලැබී තිබිණි. දැන් ඔවුන් රජු වෙනුවෙන් නිර්මාණය කර තිබෙන්නේ කුවේර රාජධානියකැයි ද කිවහැකිය.

අනෙක් අතට භූම්බෝල් රජුට හින්දු පෙළපත් නෑකමක් ද තිබේ. ඔහු කොහොමත් රට පාලනය කළේ තමන් චක්‍රවර්තී යැයි සිතාගෙන ය. ඇත්තෙන්ම ඔහු චක්‍රී පෙළපතේ නව වැන්නා ය. නව වැනි රාමා කියා කියන්නේත් ඔහුටම ය.

මේ අතර මේ විජ්ජුම්බරය බැංකොක් නුවරුන් සහ සමස්ත තායිලන්ත වැසියන් පිළිගන්නේ හෝ යටත් පිරිසෙයින් එසේ පිළිගන්නා බව පෙනෙන්නට තිබෙන්නේ අති උත්සවකාරී හැඟීමකිනි. ඊයේ දිනය එනම් බ්‍රහස්පතින්දා ඔවුන්ට රජයේ නිවාඩු දිනයකි. රට පුරාම බැංකු හා කඩසාප්පු ද වසා දමලා ය. ඒ, රජුට අවසන් බුහුමන් දක්වන්නට ය. බොහෝ අය මෙය, තමන්ගේ ජීවිත කාලය තුළදී එක් වරක් පමණක් ලැබෙන, අත් හළ නොහැකි අවස්ථාවක් ලෙසට සලකති. සිය පාලන සමය තුළ හමුදා කුමන්ත්‍රණ දුසිමකට වඩා වැඩි ගණනකට මුහුණ දුන් සහ ලේ වැගිරී්ම පවා මධ්‍යයේ කිරුළ රැක ගැනීම ඔවුන්ට රජු සම්බන්ධයෙන් දිය හැකි හොඳම ක්‍රෙඩිට් එකයි. භූම්බෝල් රජු සැබවින්ම රාජකීයත්වය සමාජයේ කේන්ද්‍රගත සංචරකයක් බවට පත් කළේය. නමුත් රජුගේ අවමගුලේ වැළපෙන රට වැසියන් සැබවින්ම හදවතින්ම රාජපක්ෂයෝ ද නැතිනම් ගැත්තෝද? ‘රජුට අවමන් කිරීම’ තායිලන්තයේ විසම්මුතිය මැඬලීම සඳහා අති බහුල ලෙස යොදාන්නා අනියම් ආයුධයකි. “අන්න අරකා මහරජ්ජුරුවන්ට බැන්නා..” යැයි පොලිසියට කෝල් එකක් දීම පවා තරහකාරයෙක් මෙලොවින් තුරන් කරන්නට තිබෙන කෙටි ක්‍රමයක් බවට තායිලන්තයේ පත්ව ඇත්තේ ඒ නිසා ය. ඒ පිළිබඳ වෙනම ලිපි මාලාවක් වුව ලිවිය හැකිය. එසේ නම් තායි වැසියන් මෙතරම්ම රජුන් පුදන්නේ ඇයි? ආසියාවෙත් අප්‍රිකාවේත් ‘රාජපක්ෂභාවය’ යනු ‘ගැතිකම’ට කියන තවත් වචනයකි.

ඉතිහාසයේ ලියැවුණු මිනිසෙක් මළා නම් එවිට ඔහුව ඉතිහාසගත කළ යුත්තේ ඔහුගේ ඕජස් ගලන මළ කඳ හෝ අළු බඳුන වීදි සංචාරය කරවීමෙන් නොවේ. කළ යුතුව තිබෙන්නේ ඔහුගේ ලෙගසිය හෙවත් උරුමය වීදි සංචාරය කරවීමයි. එම ලෙගසිය රටේ උරුමක්කාර පොල්මක්කාරයන්ට නිසි පරිදි පවරා දීමයි. අනෙක් අතට තායි අධිරජ මෙසේ ආදාහනය වන්නේ ඔහුගේ පුද්ගලික බූදලයකින් හෙම නොවේ. මේ තායි භාත් බිලියන 3ම මහජන මුදල් ය. රටේ බදු ගෙවන ජනයාගේ මුදල් ය. මේ නිසා කුමන අර්ථයෙන් ගත්තත්, මළත් ජනතාවට නිවනක් නැති රජුනි, අයියෝ සල්ලි!

| ක්‍රිෂාන්ති රාජපක්ෂ

Comments

comments