ජ්‍යෙෂ්ඨ බුෂ්ටත් ලිංගික හිංසා කළ බවට චෝදනා

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) තමන්ට ලිංගික අපහසායක් සිදුකළ බව එරට ප්‍රමුඛ පෙළේ නිලියක චෝදනා කර තිබේ.

93 හැවිරිදි විය් පසුවන ජනපතිවරයා වැඩසටහනක් අවස්ථාවේදී තමාව අනවශ්‍ය ආකාරයෙන් ස්පර්ශ කළ බව හෙදර් ලින්ඩ් නමැති නිළිය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා චෝදනා කර ඇත.

කෙසේ වෙතත්, පසුව ඇය එම චෝදනාව රැගත් පෝස්ට් එක මකාදමා තිබුණත්, ඒ වනවිටත් ඒ තුළින් ඇති වූ ආන්දෝලනය පැතිර ගොස් තිබුණි.

1989 සිට 1993 දක්වා එක් ධුර කාලයක් පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හෙබවූ ජෝර්ජ් බුෂ් යනු ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ පියාය.

ඔහු මේ වනවිට පාකින්සන් රෝගයෙන් පෙළෙන නිසා රෝද පුටුවක් භාවිත කරමින් උත්සව අවස්ථාවලට සහභාගි වෙයි.

ඇමෙරිකාවට බලපෑ ප්‍රබල සුළි කුණාටුවලින් විපතට පත්වූවන්ට අරමුදල් එකතු කිරීම සඳහා පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර හිටපු ඇමෙරිකානු ජනපතිවරුන් පස් දෙනෙකු එකම වේදිකාවකට පැමිණි අතර, එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ බුෂ් ජනධිපතිවරයාද රෝද පුටුවෙන් පැමිණ සිටියේය. එහිදී, හිටපු ඇමෙරිකානු නායක බරැක් ඔබාමා විසින් ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ අතින් අල්ලාගෙන සිටි දසුන දැකීමෙන් තමන් කම්පනයට පත්වූ බව හෙදර් ලින්ඩ් පවසා තිබුණි.

“මමත් ඒ වගේම ඡායාරූපයකට පෙනී සිටි වෙලාවේ ඔහු මට ලිංගික අතවර කළා. මට අතට අතදීම වෙනුවට, ඔහුගේ බිරිඳ බාබරාත් ළඟින් සිටියදී පිටුපසින් අතදාලා මාව ස්පර්ශ කළා.” ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි.

“ඔහු මට කැත විහිළුවක් කළේ. ඉන් පසුව ඒ ඡායාරූප ගන්න අතරවාරයේ ආයෙමත් සැරයක් ඔහු මාව අනවශ්‍ය ලෙස ස්පර්ශ කළා.”

කෙසේ වෙතත්, තමන්ට ලිංගික අපහාසයක් එල්ල කළ බවට චෝදනා කරන නිළියගෙන් සමාව ඉල්ලීමට ජ්‍යෙෂ්ඨ බුෂ් සිය ප්‍රකාශකයෙකු මාර්ගයෙන් පසුව කටයුතු කර තිබූ බව විදෙස් වාර්තා පවසයි.

Comments

comments