ශ්‍රී ලංකා පිල අද විස්සයි20 තරග බිමට

එක්දින තරගාවලියේ දී ලැබූ තරග 5-0ක අන්ත පරාජයෙන් පසුව නව නායකත්වයක් යටතේ අද (26) පාකිස්තාන පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල නවක ක්‍රීඩකයන් පිරිසක් සමග විස්සයි20 තරගාවලියේ පළමු තරගයට එක්වන්නේ නැවුම් බලාපොරොත්තුවක් අතැතිවය.

එක්දින තරගාවලියට ක්‍රීඩා කළ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අද ශ්‍රී ලංකා පිලේ නායකත්වයේ කටයුතු කරන අතර එක්දින තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිපදෙනකු සමග නවක ක්‍රීඩකයන් රැසක් ද කණ්ඩායමට ඇතුළත්වි සිටිති.

අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබි නුවර ශේක් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයෙන් නැවත වාසනාව සොයා යාම ශ්‍රී ලංකා පි‍ලේ අරමුණ වී තිබේ.

විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් රැසක් සිදුකර ඇත්තේ අවසන් තරගය පාකිස්තානයේ ලාහොර් නුවර පැවැත්විම නිසාය. වසර 2009 ලාහෝරයේදී ශ්‍රී ලංකා පිල ගමන් ගත් බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුව එරට සංචාරය කෙරෙන පළමු අවස්ථාව මෙයවේ. එ‍සේ වුවත් පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අකමැත්ත පළ කිරීම නිසා සමස්ත විස්සයි20 තරගාවලියටම නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබිණි.

එක්දින තරගාවලියට ක්‍රීඩා කළ තිසර පෙරේරා සමග සදීර සමරවික්‍රම, ළහිරු ගම‍ගේ, සීකුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩේසේ සමග එක්වීමට විස්සයි20 තරග බිමේ පළපුරුදු ක්‍රීඩකයන් වන ඩිල්ෂාන් මුණවීර, අශාන් ප්‍රියංජන, මහේල උඩවත්ත, සචිත් පතිරණ, ධනුෂ්ක ගුණතිලක, විකුම් සංජය, ඉසුරු උදාන සහ යොවුන් ක්‍රීඩක මිනෝද් භානුක අබුඩාබි නුවර බලා පසුගියදා පිටත් වූ අතර බටහිර ඉන්දිය කොදෙව් දූපත් සංචාරයේ නිරත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද එක්වී සිටි. ඔහු මේ තරගාවලියට එක්වන්නේ කොදෙව් දූපත් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති ඔහුගේ අවසන් තරගයේදී ශතකයක් ද වාර්තා කිරීමෙන් පසුවය.

විස්සයි20 තරගබිමේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයන් රැසක්ම අද ශ්‍රී ලංකා පිල නියෝජනය කරන බැවින් එක්දින තරගාවලියේ ලැබු විශිෂ්ට ජයග්‍රහණය තව දුරටත් රඳවා තබා ගැනීමේ පාකිස්තානු බලාපො‍රොත්තුව එතරම් සාර්ථක වනු ඇතැයි සිතිය නොහැකි බව විචාරකයන්ගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකාවේ පිතිහරඹය විශේෂයෙන් දනුෂ්ක ගුණතිලක හා ඩිල්ෂාන් මුණවීර මත රැඳී තිබේ. පළපුරුද්දෙන් තොර පිතිකරු පෙලේ තිසර පෙරේරා තවත් වැදගත් පුරුකකි. විස්සයි20 ක්‍රිකට් තරග බිමේදී තිසර පෙරේරා ඉතාමත් විනාශකාරී පිතිකරුවෙකු විය හැක. පන්දු ප්‍රහාරයේදීද ශ්‍රී ලංකාව ඔහු කෙරෙහි මහත් බලාපොරොත්තු තබා තිබේ. වේග පන්දු යවන ලහිරු ගමගේ එක්දින තරගමාලාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා විය. නව පන්දුවේදී ඔහුගේ කාර්යභාරය කණ්ඩායමට ඉතාමත් වැදගත් වනු ඇත. ගමගේ ට අමතරව එක්දින තරගමාලාවේදී මෙන්ම වැන්ඩර්සේ, ප්‍රසන්න, ප්‍රනාන්දු හා සමහර විට ඉසුරු උදාන ගෙන් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය සමන්විතව තිබේ.

දැනටමත් ප්‍රබල පන්දු ප්‍රහාරයකට තවත් ශක්තියක් එක් කරමින් මොහමඩ් අමිර් වේග පන්දු යවන්නා පාකිස්තාන කණ්ඩායමට එක්ව සිටී. එක්දින තරගමාලාවේදී ශ්‍රී ලංකාව අතුගා දැමීමට සමත් වූ බැවින් පාකිස්තානය මේ විස්සයි20 තරගමාලාවට මුහුණ දෙන්නේ දැඩි විශ්වාසයකින් යුතුවය.

එක්දින තරගමාලාවේදී එක දිගටම දස්කම් දැක්වීම හේතුවෙන් බබාර් අසාම් නැවත වතාවක් පාකිස්තානයේ ප්‍රධාන පිතිකරුවා වනු ඇත. ආක්‍රමණශීලීව පිතිහරඹයේ නියැලෙන ෂොයිබ් මලික් ද නරඹන්නන් පිනවීමට සමතෙකි. නායක සාෆ්රාස් අහමඩ් ට ලකුණු අතරට පිවිසීමට මෙය හොඳ අවස්ථාවකි. එක්දින තරගමාලාව අතරතුර කණ්ඩායමෙන් ඉවත් කෙරුණු අහමඩ් ෂෙසාඩ් පිළිබඳවද කිව හැක්කේ මේ දෙයමය.

මේ වසර තුළ ශ්‍රී ලංකාව මේ දක්වා ජාත්‍යන්තර විස්සයි20 තරග දහයකට ක්‍රීඩා කර ඇති අතර එයින් හයක් ජය ගෙන හතරක් පරාජය වී සිටී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඔවුන් අවසන් වතාවට ක්‍රීඩා කළ විස්සයි20 තරග හතරෙන් ජයග්‍රහණයක් වාර්තා කර තිබෙන්නේ එක වතාවක් පමණි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග බිමේදී මීට පෙර පහළොස් වතාවක් මුණ ගැසී තිබේ. මෙයින් තරග 10 – 5ක ජයග්‍රහණයකින් පාකිස්තානය ඉදිරියෙන් සිටී. අද තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේදී දෙපිල විස්සයි20 තරගයක මුණගැසී ඇත්තේ එක වතාවකදී පමණි. 2011දී ක්‍රීඩා කෙරුණු එම තරගය පාකිස්තානය කඩුලු 5කින් ජය ගත්තේය.

තරගමාලාවේ අද පළමු තරගය පැවැත්වෙන අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණ තණතීරුවේ කාසියේ වාසියේ නැඹුරුතාවක් තිබෙන සෙයකි. මේ ක්‍රීඩාංගණයේදී අවසන් වතාවට ක්‍රීඩා කෙරුනු විස්සයි20 තරග අටෙන් හයක්ම ජය ගෙන ඇත්තේ පළමුව පන්දු රැකීමේ නියැළුනු කණ්ඩායම බැවින් අද තරගයේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට පළමුව පන්දු යැවීමට තීරණය කිරීමට ඉඩ තිබේ.

කණ්ඩායමක් කොතරම් ප්‍රබල වූවද ක්‍රිකට් ක්‍රීඩාවේදී ඒ දිනයේ වැඩි දස්කම් දක්වන කණ්ඩායම අවසානයේ ජය ගනු ඇත. තරග 2 – 0ක විශිෂ්ට ජයග්‍රහණයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සංචාරය ආරම්භ කළ ශ්‍රී ලංකාව එවැනිම ජයග්‍රහණයකින් තරගමාලාව අවසන් කරනු ඇතැයි යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අපේක්ෂාව වී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය: තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, දනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, විකුම් සන්ජය, ලහිරු ගමගේ, සීකුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩර්සේ, චතුරංග ද සිල්වා, මිනෝද් භානුක.

පාකිස්තාන සංචිතය: සාෆ්රාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, අහමඩ් ෂෙසාඩ්, බබාර් අසාම්, ෂොයිබ් මලික්, මොහමඩ් හෆීස්, ඉමාඩ් වසිම්, ෂදාබ් ඛාන්, මොහමඩ් නවාස්, ෆහිම් අෂ්රෆ්, හසන් අලි, ආමිර් යමින්, මොහමඩ් අමිර්, රුම්මාන් රායීස්, උස්මාන් ඛාන්, උමාර් අමින්.

Comments

comments