ස්වභාවික ව්‍යසනයෙන් නැගිටින්න හිටපු නායකයන් පස් දෙනෙක් එක්ව නැගිටිති

මෑත ඉතිහාසයේ ඇමෙරිකාව මුහුණදුන් දරුණුතම ස්වභාවික විපත් ත්‍රිත්වයක් වන හාවි, අ^ර්මා සහ මාරියා සුළි කුණාටු හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම වෙනුවෙන් ඇමෙරිකාවේ හිටපු ජනපතිවරු පස් දෙනෙක් එකම වේදිකාවට පැමිණියහ.

ඇමෙරිකාව මුහුණදුන් එම දරුණු ව්‍යසන හමුවේ සියලු දේශපාලනික වාදභේද අමතක කරමින් ඔවුන්ගේ නැගී සිටීම ලොව පුරා විශේෂ අවධානයක් දිනාගත් සිදුවීමක් විය. සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට ආධාර පතා ටෙක්සාස් ප්‍රාන්තයේදී සංවිධානය වූ සංගීත ප්‍රසංගයක් අතරතුර ඔවුන් මෙසේ එක්ව වේදිකාවට ගොඩවූ අතර, එම ප්‍රසංගයෙන් ඩොලර් තුන්කෝටි දසලක්ෂයක මුදලක් උපයා ගැනීමට හැකිවූ බව සංවිධායකයෝ පවසති.

දැනට ජීවතුන් අතර සිටින සහ පිළිවෙළින් ඇමෙරිකානු සුක්ඛානම හැසිර වූ ජිමී කාටර් (1977 සිට 1981 දක්වා), ජෝර්ජ් බුෂ් (1989 සිට 1993 දක්වා), බිල් ක්ලින්ටන් (1993 සිට 2001 දක්වා), ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් (2001 සිට 2009 දක්වා) සහ බරැක් ඔබාමා (2009 සිට 2017 දක්වා) මෙම පිරිස අතර වූහ.

මෙම ජනාධිපතිවරුන් අතරින් ජෝර්ජ් බුෂ් පිය පුතු දෙදෙනා වත්මන් පාලක පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන අතර, සෙසු තිදෙනා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරති. සංගීත ප්‍රසංගය ආරම්භ වීමට පෙර ඇමෙරිකානු ජාතික ගීය වැයෙන අවස්ථාවේදී වේදිකාවට ගොඩවූ හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා, සියලුදෙනා සමග එක්ව ජාතික ගීය ගැයීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් වෙන්කර තිබූ අසුන්වල හිඳ ගනිමින් ප්‍රසංගය සමග එක්ව තිබුණි.

මෙම ප්‍රසංගයට බලයේ සිටින ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවූවත්, ඔහු විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය ශ්‍රේෂ්ඨ කාර්යයක් බවත්, ඒ වෙනුවෙන් තම කෘතඥතාව පළ කරන බවත්ය.

මෙම ප්‍රසංගය හැඩ කිරීම සඳහා ඇමෙරිකානු පොප් තරු රැසක් සහභාගී වූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Comments

comments