රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට79.3ක් ම ණය බර

පසුගිය දශකයේ රාජ්‍ය ආදායමෙන් 90% ක් වැය කළේ ණය වාරික සහ පොලී ගෙවීමට බවත්, පසුගිය දශකය තුළ අධ්‍යාපනයට, සෞඛ්‍යට වඩා තුන් ගුණයක් අධිවේගී මාර්ගවලට වියදම් කර තිබෙන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ ආර්ථික,දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අධිවේගී මාර්ග සඳහා වැය කරන ධනය රටට ඔරොත්තු දෙන ධනයක්ද?, රටේ ණය බරට එයින් වන බලපෑම කුමක්ද යන වග සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. රටේ නොයෙක් සංවර්ධන ප‍්‍රමුඛතා ඇති අතර, පානීය ජලය නොමැතිව, ගොවිතැන් සඳහා ජලය නොමැතිව, නිවාස ගැටළුව, වැසිකිළි කැසිකිලි ගැටළුව, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය ආදී නොයෙක් ගැටළුවලට මිනිසුන් මුහුණ දෙන බවත්, ප‍්‍රවාහනය ශක්තිමත් කිරීමත් මාර්ග පහසුකම් වැඩිදියුණු කර ගැනීම සංවර්ධනයේ ප‍්‍රමුඛතාවයක් බව ද හෙතෙම පැවසීය. මෙහිදී සංවර්ධනයේ ප‍්‍රමුඛතාව හිමි විය යුත්තේ කවර කරුණු කාරණා සම්බන්ධයෙන් ද යන වග සැලකිල්ලට ගත යුතු වේ.
ලංකාව මධ්‍ය ආදායම් රටක් බවට පරිවර්ථනය වීමත් සමග රටේ ජනගහණයෙන් 50% ක් පමණ නාගරීකරණ පහසුකම් භුක්ති විඳින රටක් හැටියට පත්වීමත් සමග නාගරික තදබදය සහ පාරිසරික වශයෙන් ඇති වී තිබෙන ව්‍යසනකාරී ගංවතුර, ණාය යෑම් වැනි අනතුරු ඇඟවීම් සමග නාගරිකරණය සහ ජනාවාසකරණය තිරසර සංවර්ධනයත් සමග කෙසේ ගමන් කළ යුතු ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුව ඇති බවද පැවසීය.
ණය බර පිළිබඳ කාරණය වත්මන් රජය අත්විඳින ප‍්‍රමුඛ අභියෝගය වන බවත්, රාජ්‍ය මුල්‍යය, එසේත්  නැත්නම් අපේ පිස්කල් බැලන්ස් එක පිළිබඳ කාරණය පිළිබඳ සලකා බැලූවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2017 ඔක්තෝබර් සංගුණකවලට අනුව ලෝකය සමග සැසැදිමේදී ලංකාව රටවල් 193ක් අතුරින් 143 වන ස්ථානයේ පසුවන බව ද පැවසීය. ඒ අනුව රජයේ ආදායම් හා වියදම් පිළිබඳව අප සිටින්නේ ලෝකයේ අන්තිම පන්තියේ බවද, රාජ්‍ය ණය ගැති භාවය පිළිබදව අවධානය යොමුකළ විට රටවල් 193ක් අතුරින් අපි සිටින්නේ 157 වන ස්ථානයේ ය. රාජ්‍ය ආයතන හැරුණු කොට අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් 79.3%ක්ම අපේ ණය බර බවද පැවසීය.  තවද අනෙකුක් රාජ්‍ය ආයතනත් සමග ගත්තට පසු මෙය 90%කට වඩා වැඩි විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2007 ඔක්තෝබර් මාසයේ වාර්තාවේ සඳහන් වී තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.
රටේ ණය බරට වඩා ඒ රටට ණය ගෙවන්න තිබෙන හැකියාව, පොලී අනුපාතය කීයද කියන එක පිළිබඳ කාරණය අරගත්තට පස්සෙ ලෝක බැංකුවේ වාර්තාව අනුව දත්ත තියෙන රටවල් 95 අතුරින් ලංකාව ඉන්නේ 91 වැනි ස්ථානයේ බවත් දැනට බංකොලොත් භාවය ප‍්‍රකාශ කර ඇති ග‍්‍රීසිය, අයර්ලන්තය, පෘතුගාලය වැනි රටවලුත් අපට වඩා ඉදිරියෙන් සිටිනවා. ඒවගේම ජපානය අපට වඩා ණය ගැතියි කියන කාරණය සත්‍යතාවක් වුවත්, ජපානය ණය ගැති භාවය ඒ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 250%ක් පමණ වෙනවා. අපේ රටේ ඒක 80%කට ආසන්නයෙන් තියෙන බව තමයි නිල වාර්තාවල සඳහන් වෙන්නේ. කෙසේ වුණත් අපිට අපේ පොලී අනුපාතය අරගත්තට පස්සෙ ණයවල සක‍්‍රිය පොලී අනුපාතය 8%කට වඩා වැඩියි. අපේ රටට ලැබෙන සහන ණය ප‍්‍රමාණයට වඩා වාණිජ ණය ප‍්‍රමාණය 55% ඉක්මවලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ ලංකාව ලොකයේ දත්ත තොරතුරු තියෙන රටවල් 95 අතුරින් 91 වැනි ස්ථානයේ, ඉතාම දුර්වල තැනකට මුල්‍යමය වශයෙන් ලංකාව පසුවන බව අමාත්‍යවරයා පැවසීය.
පසුගිය දශකයක පමණ කාලය තුළ අපේ රාජ්‍ය ආදායමින් 90%කට වැඩි ප‍්‍රමාණයක් ණයේ වාරිකයයි, පොලියයි ගෙවීමයි.  එසේනම් මේ තත්ත්වය යටතේ දී රටේ අනාගත ආයෝජන විශේෂයෙන්ම රාජ්‍ය ආයෝජන බුද්ධිමත්ව අපි හැසිරෙවීම සිදු නොකළ හොත්, ඒ වගේම ආදායම්, රැකියා උත්පාදනය කරන තැන්හි නිසි හැසිරවීමක් ද සිදු වූයේ නැතිනම් රට තව තවත් ණය අර්බුදයක ගිලෙන අතර, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල වැනි ආදායම් නොඋපදනවන ආර්ථික සුදු අලිසේම අධිවේගී මාර්ගත් සුදු අලි බවට පත්වෙන්න ඉඩ තිබෙන බවයි.
විශේෂයෙන් ලංකාව 2005-2016 අතර කාල සීමාවේදී රුපියල් බිලියන 1,700 ක් පමණ අධිවේගී මාර්ග හා සාමාන්‍ය මහාමාර්ග සඳහා වියදම් කර තිබෙනවා. මේ කාලය ඇතුලත සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 588ක් පමණයි. ඒ වගේම නිවාස හා නාගරීකරණයට රුපියල් බිලියන 50ක් වත් වියදම් කරලා නෑ. මේ වියදම් කිරීමේ ප‍්‍රථිපලයක් හැටියට අපට හොඳ සංගුණකයකුත් ලැබිලා තියෙනවා. අපි මේ ලෝකයේ ප‍්‍රවාහන මහාමාර්ග තත්ත්වය අනුව බැලූවහම දැනට අපි ලෝකයේ 34 වැනි ස්ථානයේ සිටින්නේ. එතනදී අපිට පන්තියේ මුල් පේලිය හම්බෙලා තියෙනවා. නමුත් එයට අපි විශාල වන්දියක් ගෙවනු ලැබුවා. රු. බිලියන 1,700ක්. අධ්‍යාපනයට සෞඛ්‍යට වියදම් කළා වගේ තුන් ගුණයක් අපි එතනට වියදම් කරලා තමයි ඒ තත්ත්වය අරගෙන තියෙන්නේ’ යයි පැවසීය.

Comments

comments