ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන්

පසුගිය 11 වැනි දා, දුම්රිය සේවකයන් විසින් හදිසියේ කැඳවන ලද වැඩ වර්ජනයක් අතරතුරේදී මගීන් විසින් දුම්රිය රියැදුරෙකුට පහර දුන් අවස්ථාවේ පොලීසිය මැදිහත් වී එම දුම්රිය රියැදුරාව බේරා ගත් අයුරු දැක්වන ඡායාරූපයක් මාධ්‍ය තුළ පළ විය. හදිසි වැඩ වර්ජනය නිසා, වැඩ අවසන්ව ගෙදර යා ගත නොහැකි වූ දුම්රිය මගීන් පිරිසක් විසින් මේ කියන රියැදුරාව කොටු කරගෙන තිබුණි. ඒ කලබැගෑනිය පැය ගණනක් තිස්සේ පැවති අතර, පසුව දා උදේ වැඩ වර්ජනය අවසන් කෙරුණි.

මේ සිද්ධියට කලින්, මත්තල ගුවන් තොටුපොල විදේශ සමාගමකට බදු දීමට එරෙහිව හම්බන්තොට පැවති තවත් උද්ඝෝෂණයකදී උසස් පොලිස් නිලධාරියෙකු විසින් විරෝධතාකරුවෙකුට කම්මුල් පහරක් දෙන දර්ශනයක් ද මාධ්‍ය තුළ පළ විය. ඒ සිද්ධිය කෙසේ වෙතත්, ඉහත සඳහන් දුම්රිය රියැදුරා සම්බන්ධයෙන් උද්ගත වූ තත්වය, විවිධ කණ්ඩායම් විසින් දියත් කරනු ලබන ඊනියා ‘අරගල’ කෙරෙහි සාමාන්‍ය ජනතාව දක්වන ආකල්පය විදහාපාන අවස්ථාවක් විය.

දුම්රිය මගීන් විසින් දුම්රිය රියැදුරාට පහර දෙන ලද්දේ දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම්වලට එම ජනතාව විරුද්ධ නිසා නොව, බස් සේවාවනුත් ඉතා දුර්වල මට්ටමක පවතින අවස්ථාවක දුම්රිය වර්ජනය නිසා ඔවුන්ට අත්විඳීමට සිදු වූ අතිමහත් ගැහැට නිසා ය.

මීට මාස කිහිපයකට පෙර, වයඹ රජයේ රෝහලකදී මෙවැනිම තත්වයක් ඇති විය. සයිටම් විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍යවරුන් දියත් කොට තිබූ වැඩ වර්ජනයකින් පීඩාවට පත්වූ රෝගීන් එහිදී කලහකාරීව හැසිරුණි. එසේම පසුගිය දා කොළඹ ඇති වූ උද්ඝෝෂණ කිහිපයකදීම, සාමාන්‍ය මහජනතාව උද්ඝෝෂණකරුවන්ට එරෙහිව නැගී සිටි අවස්ථා වාර්තා වුණි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් එක දිගට වැඩ වර්ජනයක නිරත වූ අවස්ථාවේ කොලොන්නාව තෙල් සංස්ථාවට හමුදාව ගොඩ බැසීම ගැන, ආණ්ඩුව පෙරලීමට බලා සිටින පිරිස හැරුණු කොට, මුළු රටම සතුටට පත්වූහ. එසේම, කොලොන්නාව තෙල් සංස්ථාවේ වැඩ වර්ජනයේදී, ඇතැම් දේශපාලඥයන් විසින් එම පළාතේ සැහැසි ජනතාව සංවිධානය කොට වැඩ වර්ජකයන්ට පහර දුන් අවස්ථාවේ මහජනතාව ඒ ගැන දොසක් කීවේ නැත. එහිදී ආණ්ඩුව හෝ ඇතැම් දේශපාලඥයන් කටයුතු කළ ආකාරය ගැන මාධ්‍ය තුළ විශාල විවේචනයක් පළ වූයේ ද නැත. මන්ද යත්, වැඩ වර්ජනවලින් ජනතාව හෙම්බත්ව සිටි නිසා ය.

‘අරගලවලට’ එරෙහිව ගොඩනැගෙන ජනතා ආකල්පය ප‍්‍රවණාතාත්මක ද? එසේ වීමට ඉඩ තිබේ. මන්ද යත්, දිනපතාම පාහේ ඇති වන වැඩ වර්ජන සහ විරෝධතා ඒ තරමට වසංගතයක් වී ඇති බැවිනි. කෙසේ වෙතත්, පාරේ විරෝධතා දක්වන්නන් කෙරෙහි හෝ වැඩ වර්ජකයන් කෙරෙහි විරෝධයක් ජනතාව තුළ නැත. බොහෝ අවස්ථාවල වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරන්නේ හෝ ශිෂ්‍යයන් පෙළපාලි යන්නේ මන්දැ යි ඔවුහූ නොදනිති.

පාරේ නිදහසේ යාමට ඒමට අයිතියක් ජනතාවට තිබේ. තමන් ගෙවන බදු මුදල්වලින් පවත්වාගෙන යනු ලබන රෝහල්වල ප‍්‍රතිකාර ලැබීමට අයිතියක් ඔවුන්ට තිබේ. බොහෝ ප‍්‍රශ්න දේශපාලනීකරණය වී ඇති තත්වයක් තුළ මේ විරෝධතාකරුවන්ගේ හෝ වැඩ වර්ජකයන්ගේ ඉල්ලීම් ගැන ජනතාවට ප‍්‍රශ්නයක් තිබේ.

උදාහරණයක් වශයෙන්, සයිටම් වෛද්‍ය විද්‍යාලය ඇති කිරීමටත් පවත්වාගෙන යාමටත් අවශ්‍ය කරන ණය ආධාර සපයමින්, ශිෂ්‍යත්ව පවා ප‍්‍රදානය කරමින් එදා කටයුතු කෙළේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව බව කවුරුත් දනිති. එම ආණ්ඩුව ඉදිරියේ එදා නිවට විදිහට සිටි වෛද්‍යවරු සහ වෛද්‍ය ශිෂ්‍යයෝ, එම රාජපක්ෂගේම දේශපාලනික තල්ලුව ඇතිව අද ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස ඉල්ලති. එවැනි ‘අරගලයක්’ යුක්ති සහගත කළ හැක්කේ එම දේශපාලනික න්‍යාය පත‍්‍රයේම සිටින කෙනෙකුට පමණි.

මේ සයිටම් විරෝධීන්ගේ කුහක කම, ආණ්ඩුවේ මාධ්‍ය තුළ අගේට නිරාවරණය කෙරේ. විශේෂයෙන් ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැන්නන් රාජපක්ෂ කාලයේදී මේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් කළ කී දේවල් රූප රාමු වශයෙන් ඉදිරිපත් කොට මහජනතාවට දැන ගැනීමට සලස්වන ලදි. ඔය කියන අරගලවල සාධාරණ අසාධාරණ කම කෙසේ වෙතත්, රෝගීන්ගේ ජීවිත අවදානමට හෙලමින් වෛද්‍යවරුන් ගෙන යන වැඩ වර්ජන කොතෙක් දුරට ඉවසා සිටිය යුතු ද යන ප‍්‍රශ්නය මෙහිදී පැන නගී.

වාහන තදබදය උග‍්‍ර අවස්ථාවල, කොළඹ නගරයේ පෙළපාලියක් නැති දවසක් සොයා ගැනීමට නොමැති තරම් ය. තම විරෝධතා දැක්වීමටත්, තමන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් යැයි තමන් විශ්වාස කරන දේවල් ඉල්ලා සිටීමටත් අයිතියක් විරෝධතාකරුවන්ට නිසැකවම තිබේ. එහෙත් ඒ ප‍්‍රශ්න ගැන කිසිවක් නොදන්නා, ඊටත් වඩා, ඒවාට වගකිව යුතු නැති ජනතාවක්, මේ කියන විරෝධතාකරුවන්ගේ අරගලවලින් විඳවිය යුත්තේ ඇයි?

විරෝධතාවන් සහ වැඩ වර්ජන වූ කලී, එකී පිරිස්වල අයිතිවාසිකම් උදෙසා දියත් කරන ව්‍යාපාරයන් වන නිසා සහ සමහර විට එම ප‍්‍රශ්නම සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රශ්නවලටත් අදාළ වන නිසා, මේ උද්ඝෝෂණ හෝ වැඩ වර්ජන හේතුවෙන් ඇති විය හැකි තාවකාලික දුෂ්කරතා ඉවසා සිටීමට ජනතාවට වගකීමක් ඇතැයි පසුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රකාශ කොට තිබුණි.

ඇත්ත, ආචාර විද්‍යාත්මකව එම තර්කයේ යම් ඇත්තක් තිබෙන්ට පිළිවන. එහෙත් දිනපතාම පාහේ කොළඹ නගරයේ ඇති වන විරෝධතා සහ වැඩ වර්ජන සංඛ්‍යාව දෙස බලන විට, ඔහු කියන අදහස සමග එකඟ වීමට පෙර සාමාන්‍ය ජනතාව දෙවරක් සිතා බලනු ඇත. මන්ද යත්, ඒ තරම් ‘තාවකාලික’ දුෂ්කරතා අවසානයේ නිත්‍ය අවුලකට මගපෑදිය හැකි නිසා ය.

පසුගිය වසරේ මාර්තු මාසයේ තොටළඟ අනවසර පදිංචිකරුවන් ජපන් මිත‍්‍රත්ව පාලම උඩ වාඩි ලා ගැනීමේ විරෝධතාවක නිරත වූ අවස්ථාවේ, දස දහස් ගණන් වාහන එක තැන හිර වුණි. විදේශයන්ට යන බොහෝ දෙනාට කටුනායක ගුවන් තොටුපොළට එදා වෙලාවට යා ගත නොහැකිව තමන්ගේ ගුවන් ගමන් අවලංගු කර ගැනීමට සිදු විය. වැඩ ඇරී ගෙදර එන තරුණ ගැහැණු සහ ශිෂ්‍යයන් ඇතුළු තව දස දහස් ගණන් ජනතාව තම තමන්ගේ වාහන තුළ පැය හතරක පමණ කාලයක් එදා රස්තියාදු වුණි. ප‍්‍රතිකාර ගැනීම සඳහා යන සිය ගණන් රෝගීන් සහ ප‍්‍රතිකාර ලබා එන තවත් රෝගීන් මේ තත්වය තුළ බලවත් අපහසුතාවට පත්වූණි.

මේ අනවසර පදිංචිකරුවන්ගේ දුක් ගැනවිලි සහ සහනයක් පතා ඔවුන් කරන ඉල්ලීම් ගැන කවුරුත් සංවේදී ය. එසේ වෙතත් තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සාමාන්‍ය මහජනතාව ප‍්‍රාණ ඇපයට ගැනීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද? ඒ මාසයේම, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක කේ. ඞී. ලාල්කාන්ත, ගොවියන්ගේ ප‍්‍රශ්න නොවිසඳුවහොත්, රටේ හැම පළාතකින්ම ගොවියන් කොළඹට ගෙන්වා, නගරයට ඇතුලූ වන ප‍්‍රධාන ප‍්‍රවේශ හය අහුරා මුළු කොළඹ නගරය වට කරන බවට ආණ්ඩුවට තර්ජනය කෙළේය. එවක රටේ බොහෝ පළාත්වල ගොවියෝ පොහොර සහනාධාරය ඉල්ලා උද්ඝෝෂණය කරමින් උන්හ. ජනාධිපතිවරණයේදි ආණ්ඩුව ඔවුන්ට එවැනි පොරොන්දුවක් දී තිබුණි. එසේම, තමන්ගේ අස්වැන්න සාධාරණ මිළකට විකුණා ගැනීමට හැකි වන ආකාරයේ යාන්ත‍්‍රණයක් සැකසිය යුතු බවටත් ඔවුහූ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.

මේ ඉල්ලීම්වලට විරුද්ධ විය හැක්කේ කාටද? එහෙත් ඒ සමගම, එම ඉල්ලීම් දිනා ගැනීම සඳහා කොළඹ නගරය වට කිරීමේ ඔවුන්ගේ අරගලය යුක්ති සහගත කළ හැක්කේ කාටද? මේ අරගලවල ඇති උත්ප‍්‍රාසය වන්නේ, ඔවුන්ගේ ප‍්‍රශ්නවලට මොන ආකාරයකින්වත් වගකිව යුතු නැති අසරණ ජනතාව උපරිමයෙන් පෙලීම තුළින් බලධාරීන්ට බලපෑම් කොට තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මේ විරෝධතාකරුවන් පෙළඹීමයි. ඒ අනුව, වෛද්‍යවරුන් දියත් කරන වැඩ වර්ජනයක් සාර්ථක යැයි සැලකෙන්නේ, හැකි තාක් රෝගීන්ට ඒ මාර්ගයෙන් උපරිමයෙන් විඳවීමට සැලැස්වුවහොත් සහ හැකි තාක් රෝගින් සංඛ්‍යාවක් ඒ මාර්ගයෙන් මරණයට පත් කිරීමට හැකි වුවහොත් ය. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැඩ වර්ජනයක් නම්, එය සාර්ථක යැයි සැලකෙන්නේ රටේ ආර්ථිකයට ඒ මාර්ගයෙන් උපරිම අලාභයක් සිදු කළහොත් ය. ඒ ආකාරයෙන්ම, වැඩිම ජනතාවක් අපහසුවට පත් කෙරෙන වඩාත් තදබදය ඇති කාලයක් මහා මාර්ග විරෝධතා සඳහා තෝරා ගැනේ.

2009 මාර්තු සහ අපේ‍්‍රල් මාසවලදී මුල්ලිවයික්කාල්හි කුඩා ප‍්‍රදේශයකට කොටු වූ අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පැවති අභිලාෂයට මේ තත්වය වෙනස් නැත. එදා ඔවුන්ට අවශ්‍ය කෙළේ තමන්ගේම ජනතාවගෙන් වැඩි කොටසක් ජීවිතක්ෂයට පත්වනු දැකීමයි. එවිට ආණ්ඩුව මත එම වගකීම පටවා විදේශ රටවල්වල මැදිහත්වීමක් ඇති කර ගැනීම ඔවුන්ගේ අභිලාෂය විය. ඒ නිසා, තමන්ගේ ජනතාව අතරේම සිටිමින් ඔවුහූ රජයේ සන්නද්ධ අංශවලට පහර එල්ල කළහ.

වෘත්තීය සමිති හැම විටකම තමන්ගේ අරගල සඳහා ජනතා සහාය අපේක්ෂා කරයි. ඒ සඳහා කොටුවේ දුම්රිය පොළ වැනි ස්ථානවල පත‍්‍රිකා බෙදා හරින ඔවුහූ තමන්ගේ ඉල්ලීම් සටහන් කළ විරෝධතා පුවරු ජනතාවට ප‍්‍රදර්ශනය කරති. තවත් සමහර වාමාංශික පක්ෂ තමන්ගේ වෘත්තීය සමිති පාවිච්චි කරන්නේ, කම්කරුවන්ගේ සහ ‘නිර්ධන පංතියේ’ ප‍්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව උනන්දුවක් නොදක්වන බව කම්කරුවන්ට ඒත්තු ගැන්වීමටයි. ඒ අනුව, ආණ්ඩු පෙරලා දැමීම සඳහා විප්ලවීය මාර්ග ගැනීම කෙරෙහි මෙවැනි පක්ෂ විසින් කම්කරුවන්ව පොළඹවනු ලැබේ.

කෙසේ වෙතත්, මේ අතරේම, තමන්ගේ අසාධාරණ අරගල ක‍්‍රම නිසා සාමාන්‍ය ජනතාව අතරේ ඒවා අප‍්‍රසාදයට පත්වෙයි. ඒ තත්වය තුළ, තමන්ගේ ඉල්ලීම් සඳහා ජනතා සහයෝගය ලබා ගැනීමට ඔවුන්ට හැකි වන්නේ නැත. මේ තත්වය තුළ නැවත වරක් ඒ ගැන සිතා බැලිය යුතු කාලය පැමිණ තිබේ. කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ මහජනතාවගේ අයිතිවාසිකම් අතර යම් තුලනයක් ඇති කර ගත හැකි මගක් ගැන සිතා බැලිය යුතුව තිබේ.

*2017 ඔක්තෝබර් 20 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ“Worker Rights vs People’s Rights” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Comments

comments