නවසීලන්තයටත් තරුණ නායිකාවක් පත්වන ලකුණු

නවසීලන්තයේ සුක්ඛානම අතට ගැනීමට තරුණ නායිකාවක වූ ජසින්ඩා ආඩර්න් සූදානම් වන අතර, ඇයද සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක සිටින නායිකාවකි.

ඒ අනුව, ඇයගේ නායකත්වයෙන් යුතුව වමට ලැදි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්ත ලේබර් පක්ෂය සැරසෙයි.

ඇයගේ පත්වීම සුවිශේෂී අවස්ථාවක් විය හැකි වන්නේ වර්ෂ 1859න් පසුව එරට නායකත්වය වෙනුවෙන් පත්වන ලාබාලම පුද්ගලයා ඇය බැවිනි.

ඇය මේ වනවිට 37 වැනි වියෙහි පසුවන අතර, දැනට වසර තුනක කාලයක සිට එරට විපක්ෂ නායක ධුරය හොබවයි.

කෙසේ වෙතත්, පසුගිය සැප්තැම්බර් මාසයේදී නවසීලන්ත මහ මැතිවරණයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවැනි තැනට වැටුණි.

කෙසේ වෙතත්, වමට බර නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට නිව් සීලන්ඩ් ෆර්ස්ට් නමැති කුඩා පක්ෂය එකඟතාව පළ කිරීමත් සමග ලේබර් පක්ෂය මෙසේ නව ආණ්ඩුවක් පිහිටුවීමට සැරසෙයි. මේ අතර, එරට හරිත පක්ෂයද නව සන්ධාන ආණ්ඩුවට සහාය පළ කරනු ඇති බව සඳහන් වෙයි.

ඇයගේ මැතිවරණ පොරොන්දු පරිදිම සංක්‍රමණිකයන් වෙනුවෙන් වෙන් කර තිබෙන කෝටාව දැඩිව කප්පාදු කරනු ඇති අතර, විදේශිකයන් නවසීලන්තයේ දේපොළ මිලදී ගැනීම සීමා කිරීමට නව සන්ධානය කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

ලෝක දේශපාලනයේ සංක්‍රමණ විරෝධී රැල්ලක් මේ වනවිට මතු වෙමින් පවතින අතර, ඔස්ට්‍රියාවේ නායකත්වයට පැමිණෙන තරුණ දේශපාලඥයාද සංක්‍රමණ විරෝධී දේශපාලන ව්‍යාපාරයක පසුවූවෙකි.

Comments

comments