වාමවාදී සිනමාකරුවෙකු ලෙස බෞතිස්ම ලද ‘සම්මානනීය ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ’

වාමවාදී සිනමාකරුවෙකු ලෙස ක්ෂේත්‍රයේ බෞතිස්ම ලද සම්මානනීය ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ‘ස්වරූප’ සිනමා නිර්මාණය මේ දිනවල ප්‍රදර්ශනය කරමින් පවතී. එවන් පසුබිමක ඔහුව යළිත් ඇගයීමට ලක් කිරීම ‍දෙරණ සිනමා සම්මාන උලෙළේදී පසුගියදා සිදුවිය.

'ස්වරූප' සිනමා නිර්මාණය
‘ස්වරූප’ සිනමා නිර්මාණය

ප්‍රකට කිවිඳු ආරියවංශ පතිරාජගේ බාල සොයුරෙකු ලෙස කලාව පළමුව ඉව කළ හෙතෙම පේරාදෙණිය සරසවියේදී ගත කළ බුද්ධිමය සමාජ ඇසුරේදී විරෝධාකල්ප කලාව අවබෝධ කරගෙන තිබූ බව ඔහු පළමුව නිර්මාණය කළ ‘කොරා සහ අන්ධයා’ මෙන්ම ‘පුටු’ යන වේදිකා නාට්‍ය නිර්මාණ දෙස විචාරශීලිව නිරීක්ෂණය කිරීමේදී අවබෝධ වේ.

ඉන් අනතුරුව ඔහු සිනමාවට පිවිසෙනුයේ සුගතපාල සෙනරත් යාපා නිර්මාණය කළ ‘හන්තානේ කතාව’ සිනමාපටයෙන් කලඑළි බට නව රැල්ලේ සිනමාකරුවන් සමගය. ඉන් බිහිවූ විජය ධර්ම ශ්‍රී මැද මාවතේ සිනමා ගමනක යෙදෙද්දී, සෝමපාල ලැනරෝල් තෝරා ගත්තේ සම්මත සිනමා ශෛලියයි. එහෙත් එහිදී පතිරාජ තෝරාගනු ලැබුවේ තාරුණ්‍යය සමග රැඳි රැඩිකල් වාමවාදී සිනමා ශෛලියකි. මාක්ස් න්‍යායට අනුකූලව සැකසුණ සිනමා රීතියකි. මෙරට බුද්ධිමත් තාරුණ්‍යය අපේක්ෂා කළ සිනමා ශෛලියකි.

එහිදි ‘සතුරෝ’ නම් කෙටි සිනමාපටය නිර්මාණය කරමින් සිනමා නිර්මාණ කාර්යයට අතපොවන ධර්මසේන පතිරාජ පළමු වෘතාන්ත සිනමා නිර්මාණ දායකත්වය ලබා දෙනුයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සංදේශය’ සිනමාපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු වූ විජය අබේදේව විසින් පළමු වරට අධ්‍යක්ෂණය කර, අතරමග නිර්මාණ කටයුතු නවතා තිබූ ‘එයා දැන් ලොකු ළමයෙක’ සිනමාපටයටයි. වර්තමානයේ ගීත රචකයෙකු ලෙස නමක් දිනාගෙන සිටින කුමාරදාස සපුතන්ත්‍රිගේ වැඩිමහල් සොහොයුරාව සිටි ලේඛක කරුණාරත්න සපුතන්ත්‍රිගේ එනමින් යුත් නවකතාව මෙම සිනමා නිර්මාණයට පාදක කරගෙන තිබිණි.

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ
ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ

‘අහස් ගව්වෙන්’ ඇරඹි පතිරාජගේ සිනමා නිර්මාණයන්හී දක්නට තිබූ වාමවාදී සිනමා ශෛලිය මෙම සිනමා නිර්මාණයේදී දක්නට නොලැබුණද, ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමා නිර්මාණයක් ලෙස උසස් තත්ත්වයක නොතිබුණා නොවේ. එය සනාථ වන්නේ මෙම සිනමාපටයේ රඟපෑම වෙනුවෙන් මොස්කව් සිනමා උලෙළෙහිදී මාලනී ෆොන්සේකාට හොඳම නිළිය ලෙස විදේශ විචාරකයන්ගේ ඇගයීම ලැබීම හේතුවෙනි. ගමක හැදී වැඩිවියට පත්වන දුගී දුප්පත් තරුණියක් සමාජයෙන් අත්විඳිනා ඇතැම් සිදුවීම් නවකතාවේ ලේඛකයාට වඩා ප්‍රේක්ෂක සිත් පැහැර ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මෙහිදී අධ්‍යක්ෂවරයෙකු ලෙස පතිරාජ සමත්ව තිබිණි.

දිගු රංගන ඉතිහාසයක් තිබෙන වින්සන්ට් වාස් නම් රංගන ශිල්පියා සිය රංගන දිවියේ පළ කළ හොඳම රංගනය ඇතුළත්ව තිබුණේද මෙම සිනමාපටයටය. එසේම මෙහි ගමේ චණ්ඩියෙකු ලෙස විමල් කුමාර කොස්තාද ඉතා ඉහළ රඟපෑමක් පළකර තිබූ අතර, විජය පළමු වරට පෙම්වතාගේ චරිතය සම්මත බොළඳ රටාවෙන් මිදී සංයමයකින් රඟපානු ලැබුවේ මෙම සිනමාපටයේ යැයි කිවහොත් එය නිවැරදිය. ප්‍රේමසිරි කේමදාස සංගීතයෙන් සහාය නොවූ පතිරාජ නිර්මාණය කළ එකම සිනමාපටයද මෙය විය හැකිය. ඒ මෙය පළමුව අධ්‍යක්ෂණය කළ විජය අබේදේව ඒ වන විට සංගීතය සැපයීම සරත් දසනායකයන්ට පවරා තිබීම හේතුවෙන් විය යුතුය.

කෙසේ හෝ මෙරට ප්‍රේක්ෂකාගාරය විශාල කම්පනයකට පත්කිරීමට පතිරාජ සිය ‘අහස් ගව්ව’ සිනමා නිර්මාණය මගින් සමත් විය. ඒ වන විට බාල සිනමා රසයකට යොමුව සිටි ප්‍රේක්ෂකාගාරය වෙනසකට භාජනය කිරීමට මෙහිදී පතිරාජයන්ට හැකි විය. මෙහි යොවුන් සමාජ ප්‍රශ්න පිළිබඳව අපූරුවට කතාකර තිබූ නිසාම එය බුද්ධිමත් සමාජයේ දැඩි කතාබහකට ලක්විය. ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘ගම්පෙරළිය’ සිනමාපටයෙන් පසුව සමාජ ඛේදවාචකයන් විමසුමට ලක්කර නොතිබූ නිසාම මෙරට විදග්ධ සමාජය ‘අහස් ගව්ව’ සිනමා නිර්මාණය පිළිබඳව මහත් රුචියෙන් එකල කතාකර ඇති බව ජාතික ලේඛනාරක්ෂකාගාරයේ ඇති පැරණි පුවත්පත් වාර්තා විමර්ශනය කිරීම මගින් අනාවරණය වේ. ප්‍රංශ සිනමා නව රැල්ල පිළිබඳව කියවා තිබූ විදග්ධ තරුණයන් ‘අහස් ගව්ව’ සිනමා නිර්මාණය වැලඳ ගත්තේ මහත් වූ සෙනෙහෙසිනි.

පතිරාජගේ දෙවන සිනමා නිර්මාණය වූ ‘බඹරු ඇවිත්’ සිනමා නිර්මාණයේ යටි පෙළ මගින් නිදහස සහ නීතිය ස්ථාපිත කිරීම පිළිබඳව ගැඹුරු සමාජ දර්ශනයක් පළවුවද, මෙරට සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය එය ආදරයෙන් වැලඳ ගනු ලබුවේ සිනමාවට ආගන්තුක ධීවර සමාජ පරිසරයක මෙම සිනමාපටය රූපගත කර, එහි කඨෝර දෙබස් සහිත සිනමා රසයකින් යුක්තව මෙය නිර්මාණය කර තිබීම හේතුවෙනි. සැබවින්ම ‘බඹරු ඇවිත්’ සිනමාපටය මෙරට සරල විනෝදාත්මක සිනමාපට නරඹන සමාජයද දිනාගැනීමට සමත්ව තිබුණේය. එය මෙරට ප්‍රේක්ෂකාගාරය විශාල වෙනසකට ලක් කරනු ලැබීය. ඒ සඳහා ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයද, ඩොනල්ඩ් කරුණාරත්නගේ කැමරාකරණයද අපූරු මෙහෙයක් ඉටුකර තිබිණි. එහි අඳුරු කාමරයක අඳුරු සෙවණැලි නිර්මාණය කරමින් හොඳ සිනමා හරඹයක්ද වරෙක දක්නට ලැබිණි. එහි තිබූ ප්‍රබල දෙබස් ජෝ, මාලනී, විජය සහ සිරිල් වික්‍රමගේ පමණක් නොව මාලනීගේ තාත්තා මෙන් සුළු චරිතයක් රඟපෑ එස්.එච්. ජෝතිපාලගේ රඟපෑම් පවා අපූරුවට සිය නිර්මාණයට ගොනුකර ගැනීමට අාචාර්ය පතිරාජ මෙහිදී සමත්ව තිබිණි.

එහෙත් එම වසරේ ජනාධිපති සිනමා සම්මාන උලෙළෙහිදී ‘බඹරු ඇවිත්’ සිනමාපටය හොඳම සිනමාපටය ලෙස සම්මානයට පාත්‍ර කිරීමටත්, ධර්මසේන පතිරාජ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර කිරීමටත් නොහැකිව ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ ‘අහසින් පොෙළාවට’ සිනමා නිර්මාණයත් අතර දෝලනය වන ආකාරය සහ එහි විනිශ්චයයන් සිදුකළ ජූරිය අපහසුතාවට පත්වූ ආකාරයත් එම සම්මාන ප්‍රදානය පිළිබඳව විමසිලිමත් වන විට අපට පෙනී යයි. සම්මත ප්‍රබුද්ධ සිනමා ශෛලිය තුළ ගොනුව සිටිනුද, රැඩිකල් වාම සිනමා ශෛලිය ඇගයීමට ලක් කරනුද යන්න තුළ මෙහි ජූරිය සිරව සිටි ආකාරයක් එම සම්මාන ප්‍රදානයේ නාමාවලිය දකින විට හැඟී යයි.

අජිත් තිලකරත්නගේ ‘පාර දිගේ’ සිනමා නිර්මාණයෙන්ද කතා කළේ රැකියා විරහිත තරුණ පරපුරේ එක් ඛේදනීය පැතිකඩකි. මෙම සිනමා නිර්මාණයද විද්වත් සමාජයේ මහත් ඇගයීමකට ලක්විය. අජිත් තිලකසේනගේම කෙටි කතාවක් පදනම් කරගෙන පතිරාජ නිර්මාණය කළ ‘සොල්දාදු උන්නැහේ’ සිනමාපටය අගනුවර සමාජයේ හුදෙකලා වූ චරිත සතරක් වූ වෛශ්‍යාවක්, නගරයේ රස්තියාදු චරිතයක්, විශ්‍රාමිකයෙක් සහ දෙවන ලෝක මහා යුද්ධයට මැදිවූ සොල්දාදුවෙක් මුල්කරගෙන නිර්මාණය කර තිබුණු අතර, එම නිර්මාණයද මෙරට විද්වත් සමාජයේ ඉහළම ඇගයීමට ලක්විය. මෙහි විශ්‍රාමික හමුදා භටයෙකුගේ භූමිකාව ජෝ අබේවික්‍රම විසින් අපූරුවට නිර්මාණය කර තිබිණි.

'පොන්මනි' සිනමාපටය
‘පොන්මනි’ සිනමාපටය

සිනමාව දැඩිව ග්‍රහණය කරගෙන සිටින ද්‍රවිඩ සමාජයේ කිසිදු සිනමාකරුවෙක් ශ්‍රී ලාංකික ද්‍රවිඩ සමාජයට තිළිණ නොකළ අන්දමේ උසස් නිර්මාණයක් එම සමාජයට තිළිණ කිරීමට ‘පොන්මනි’ නම් ද්‍රවිඩ සිනමා නිර්මාණයෙන් අාචාර්ය පතිරාජ එහිදී සමත් විය. ඔහු කථිකාචාර්යවරයෙකු ලෙස යාපනය විශ්වවිද්‍යාලයේදී සේවය කිරීමේදී එම සමාජය පිළිබඳව ඔහු තුළ ඇති වූ කම්පනය එම සිනමා නිර්මාණය බිහිකිරීමට ඔහු පෙළඹුවා විය යුතුය. ‘පොන්මනි’ සිනමාපටය ද්‍රවිඩ බුද්ධිමත් සමාජය ඉහළින් ඇගයීමට පෙළඹිණි.
අනතුරුව සිංහල සිනමාව මෙරට බාල කාම සිනමාපටකරුවන්ගේ ග්‍රහණයට නතු වීමත් සමග පතිරාජ හැරුණේ ටෙලි නාට්‍ය කලාවටය. එහිදී ඔහු පළමුව නිර්මාණය කළ ‘ඇල්ල ළඟ වලව්ව’ මෙරට සමාජයේ මහත් කතාබහට ලක්විය. අනතුරුවද ඔහු මනෝ විද්‍යාව පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වූ නිමල් සේනානායකගේ තිරනාටකයන්ට අනුව ටෙලි නිර්මාණ කිහිපයක් රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට තිළිණ කරනු ලැබීය. එහෙත් වසන්ත ඔබේසේකර වැනි වාමවාදී සිනමාකරුවෙක් වූ ධර්මසේන පතිරාජට රූපවාහිනිය සඳහා ඔහු සිදුකළ ආන්දෝලානාත්මක සිනමා නිර්මාණ වැනි ටෙලි නිර්මාණ කිරීමේ අපහසුතාවක් තිබිණි. ඒ රූපවාහිනිය තුළ තිබූ ඇතැම් වාරණයන් හේතුවෙනි.

මේ වන විට පතිරාජයන්ගේ ‘ස්වරූප’ සිනමාපටය ප්‍රේක්ෂකාගාරය වෙත තිළිණ කර එය රසිකයන් විසින් නරඹමින් සිටී. එය නරඹන කල රසිකයාට ඇතිවන්නේ පතිරාජයන් සිනමා නිර්මාණයේදී පළකරනා සෙමින් ගමන පිළිබඳවය. වම් ඉවුරේ සිනමාකරුවෙකු වූ වසන්ත ඔබේසේකර තරම් පතිරාජ සිනමා නිර්මාණ බිහි නොකිරීම පිළිබඳව සැබෑ රසිකයා තුළ ඇත්තේ නොසතුටකි.

එහිදී පතිරාජ, වසන්ත ඔබේසේකර මෙන් සිනමාවේ රැඳී සිටීමට අපොහොසත් වීම පිළිබඳව මෙරට බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයට ගැටලු නිර්මාණය වී තිබිණි. සැබවින්ම පතිරාජද සිනමා නිර්මාණ සිදුකරමින් සිටියේ නම්, එහි ඔහුට යහපැවැත්මක් සිනමාව තුළ රැඳී තිබූ බව අද අපට අවබෝධ වන්නේ එම කාලය තුළ වසන්ත ඔබේසේකර කළ සියලු නිර්මාණයන් ප්‍රේක්ෂකයා අතර අසීමිත ජනප්‍රියත්වයක් ලැබූ නිසාවෙනි. වසන්ත මෙන්ම පතිරාජද සෑමවිටම එකිනෙකට වෙනස් වූ කතා තේමාවන් තම සිනමා නිර්මාණයන්ට වස්තු කර ගැනීමට සමත්ව තිබිණි. එසේ තිබියදී මෑතකාලීනව පතිරාජ සිනමා නිර්මාණයන් සඳහා වැඩි වශයෙන් උනන්දුවක් පළ නොකළේ ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස කාර්යබහුල වීම හේතුවෙන්ද යන්න නොදනී. එහෙත් එය මෙරට ප්‍රේක්ෂකයාගේ අවාසනාව බව නම් පැහැදිලිවම කිව යුතුය.

ආචාර්ය ධර්මසේන පතිරාජ යනු ඔහුටම ආවේණික ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගෙන සිටි ප්‍රබුද්ධ සිනමා නිර්මාපකයෙකි. එවැන්නෙකුගේ නිර්මාණ දැක ගැනීමේ රුචියෙන් පෙළෙන ප්‍රේක්ෂකාගාරයක් තිබෙන කල ඔහු එය අවබෝධ කර නොගත්තේ මන්දැයි සිනමාලෝලීන්ට ඇත්තේ ගැටලුවකි. කෙසේ නමුත් දෙරණ සිනමා සම්මාන උෙලළේ ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානය පතිරාජයන්ට ප්‍රදානය කිරීම පැසසිය යුත්තකි. මන්දයත් එය ඇගයීමට ලක්විය යුතු නිර්මාණකරුවෙකු ඇගයීමක් වන හෙයිනි.

| ගාමිණී සරත් ගුණවර්ධන

Comments

comments