වැඩිම වැස්ස නෙළුවට ගිං ගඟේ ජල මට්ටම ඉහළට : තවදුරටත් තද වැසි

ඉකුත් පැය 24 තුල වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ලැබී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

මිලි.මීටර් 155.5 වර්ෂාවක් ලැබීමත් සමගම නෙළුව ප්‍රදේශය තුළ පස්කඳු කඩා වැටීම් සහ නායයාමේ අවදානමක්ද ඇතිවීමේ ඉඩකඩද ඉහළයා හැකි බැවින් අවධානයෙන් සිටින්නැයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන්ද අනතුරු හැගවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ වනවිටත් ගාලු දිස්ත්‍රික්කයට කඩින් කඩ වැසි ලැබෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය.

මේ අතර නෙළුව ප්‍රදේශයේදී මේ වනවිට ගිං ගගේ ජල මට්ටම ඉහල යමින් පවතින බවත් ගිං ගඟ පහල ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී ඇත.

කුකුළේ ගඟ වාන් දොරටු විවෘතයි

ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බැවින් පහල ජල ධාරා ප්‍රදේශවල සිටින ජනතාව විමසිල්ලෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් අඟගලවත්ත, ඉංගිරිය, බදුරලිය හා මදුරාවල ප‍්‍රදේශවල ජීවත් වන ජනතාවට විමසිමත් වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමඟින් තත්පරයට ඝණ මීටර් 77ක ජල ධාරිතාවක් මුදා හරින අතර ඒ හේතුවෙන් මේ වනවිට කුඩා ගඟ ආශිත මොල්කාව, පරගොඩ, බුලත්සිංහල යන පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

තවද මගුරු ගඟ පිටාර ගැලීම හේතුවෙන් අගලවත්ත – කලවාන මාර්ගයේ , මිදලන ප්‍රදේශයේ මාර්ගය, අඩි 1.5ක පමණ ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.මේ හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලටද බාධා එල්ල වී තිබේ.

තවත් තද වැසි

ඉදිරි පැය 24 තුළ සබරගමුව, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100-150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේද පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙයි.

Comments

comments