පෙම් යුවළ

‘ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි’
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ
ප්‍රේමයෙන් ඔබ ලැබූ
පරම රමණීය වූ
දිව්‍යමය ආශ්වාදය නොවෙද?’

‘කෙහෙල් මල!
මම මැයට පෙම් කළා ජීවිතෙන්
සීගිරියේ බිතු සිතුවම් අඳින කාලෙ
ඒක ඇත්ත
ඈත් මට පෙම් කළා
යුද්දෙ ආවෙ ඔය අතරෙයි
මුගලන් අප පරද්දලා හිර කෙරුවා
කාශ්‍යපගෙ බල කොටුවෙම
සිර වී මා හිටියා අවුරුද්දක්
සිතින් මැගේ රුව ඇඳ ඇඳ
දුක් විඳ විඳ.
හිර ගෙදරින් මිදුනු ගමන්
මා ආවේ මැය බලන්න
එතකොට
ඈ මොහුගේ උකුලට වී
හිටියා මේ විදිහට තුරුලු වෙලා
අපගේ හතුරෙක් මූ
මුගලන්ගේ යුද සෙබලෙක්!
උන් දෙන්නා හිටි විදියයි
මේ ගල මත
මා කෙටුවේ නොමැකෙන්නට
කඩ වූ ආදරයේ
තිත්ත කටුක දෑත්වලින්

………………………………
………………………………

(ඉන් පසු ඔහු කී දේ මට පැහැදිලිව
ඇසුනේ නැත.)

| මහගම සේකර

-හෙට ඉරක් පායයි (1963) -(56 වන කවිය)

Comments

comments