මේ ධනවාදයේ උච්චතම අවධියද ?

මෙම ධනවාදයේ මගේ කියවීම පරම සත්‍ය හෝ ප්‍රථම සොයා ගැනීමද නොවන බව ඉතා නිහතමානීව පිළිගන්නා අතරම එක් අයකු හෝ මේ ගැන යම් තාර්කික අදහසක් ඉදිරිපත් කරනු ඇතැයි යන්න පමණක් මා විශ්වාස කරමි. මෙම අදහස මෙම කතිකාවත ඉදිරියට පවත්වාගැනීමට නැවත නැවතත් හැදෑරීමට බල කරන අදහසක් වේවායි අපේක්ෂා කරමි. මගේ අදහස : ලෝකය පුරා මේ වන විට පවතින ප්‍රධාන සමාජ ආර්ථික ක්‍රියාවලිය වනුයේ ධනවාදයයයි. ධනවාදයේ විශේෂ ලක්ෂණයක් වනුයේ ආර්ථික අර්බුදයන්ය. එයට තුඩු දෙන මුලික කාරණය වනුයේ ධනවාදය තුල පවතින ප්‍රාග්ධන සමුච්චගත කරණයයි. කාලයෙන් කාලයට ඇති වන්න වූ ආර්ථික අර්බුදයන්හිදී අප විසින් එම අර්බුදයන් තේරුම් ගැනීමට උත්සුක වනුයේ මේ කාලය ධනවාදයේ උච්චතම අවධිය ලෙසයි. සත්‍ය වශයෙන්ම අප ගත කරමින් සිටිනුයේ ධනවාදයේ උච්චතම අවධියද යන්න සරලව වවිමසීම මෙම ලිපියේ අරමුණයි.

මෙහිදී මා ප්‍රවේශයක් ලෙස ධනවාදී සමාජ ක්‍රමය ආරම්භ වී අප තවම ගත කොට ඇත්තේ ඉතාමත් සුළු කාලයක් බව සදහන් කරන්නට කැමැත්තෙමි. මේ ධනවාදයේ උච්චතම අවධිය ලෙස බොහෝ දෙනා විසින් තර්ක කරනුයේ පවතින් ආර්ථික අර්බුදයන් නිසානම් එම තර්කය තාර්කික නොවන්නේ ආර්ථික අර්බුදයන් යනු ධනේශ්වරයේ පොදු යතාර්ථය වන බැවිනි. ශ්‍රම සුරා කෑම තුලින් ලාභය ලෙස සිදු කරනු ලබන ප්‍රාග්ධන සමුච්චගත කරණයන් ලොව ඉතා සුළු කණ්ඩායමක් අතට පත් කර ගැනීමේ එකම පරමාර්ථය කොට සිදු කරනු ලබන තරගය මත සමාජ සන්ධර්භය තුල පැන නගින අර්බුදයන් ධනවාදයේ උච්චතම අවධිය ලෙස සැලකිය නොහැකි බව මාගේ අදහසයි.

මන්දයත් ධනවාදය තුල අර්බුදයන් පැන නගිමින් සමනය වෙමින් ගලා යන චර්යාවක් ධනේශ්වර සමාජ ක්‍රමය ආරම්භයේ පටන් නොනැවතී අද දක්වා පෙන්වා ඇති ගතිකය තුලයි. සියලු ඝන ද්‍රව්‍යයන් වාෂ්ප බවට පත් වන සමාජ තත්වයක් කරා ධනේශ්වර සමාජ ක්‍රමය තවමත් වර්ධනය වී නොමැති සන්දර්භයක් මත රට, ජාති, ආගම් වැනි ජනයා භේදභින්න කරන කඩතුරාවන්ගෙන් පවතින සමාජ අර්බුදයන් වසා දැමීමට දියුණු ධනවාදී සමාජ ක්‍රමයක් පැවතියේ නම් ධනපතියන්ට, ධනපති පාලකයන්ට නොහැකි වනු ඇත. ධනේශ්වරයේ උච්චතම අවධිය කරා පිවිසෙන විට රට, ජාති, ආගම්, හෝ එවැනි වෙනත් භේද සංකල්පයන්ද යල් පනිනු ඇත. එහි උච්චතම අවධිය තුල ධපතියන් සහ නිර්ධනීන් ලෙස පැහැදිලිවම හදුනා ගත හැකි වර්ග දෙකක කණ්ඩායම බහුතරයක් වනු ඇත. මැද පන්තීන් අවමව ශේෂ වී පවතිනු ඇත. මේ වන විට පවතින යතාර්ථය තුල පැහැදිලිවම ධනපතියන් සහ නිර්ධනයන් වර්ග කර ගත නොහැකිව මාක්ස්වාදී දැනුම ප්‍රශ්න කර ගන්නා තත්ත්වයක් තුල සමාජය තුල මතුව ඇත්තේ මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ පවතින වාස්තවික තත්ත්වයන් ග්‍රහණය කර ගැනීමට මුලික මාක්ස්වාදී න්‍යායයන් ගළපා ගැනීමට ඇති නොහැකියාවයි. මේ වන විට ලෝකයේ බොහෝ රටවල පවතින අර්බුදයන් වසා ගැනීමට යොදා ගන්නා මුලික කඩතුරාවන් වනුයේ රට, ජාති, ආගමයි.බොහෝ රටවල මිනිසුන් මෙම සමාජ අර්බුදයන් ග්‍රහණය කර ගනු ලබන්නේ ආගම් විනාශ කිරීමට, ජාතිය වඳ කිරීමට, රට ආක්‍රමණය කිරීමට ඉල්ලම් පැමිණෙන ලෙසයි. නමුත් අධෝ ව්‍යුහය තුල පවතින යතාර්ථය කිසි විටෙක තේරුම් ගැනීමට නොහැකි වන මට්ටමේ උපරි ව්‍යුහය තුල ඉස්මතුව කරලියට පැමිණෙන්නේ මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ සහ පක්ෂ වල පවතින බුද්ධි ඌනතාවය මත මිසක මාක්ස්වාදී දර්ශනය හෝ මුලින් න්‍යායන්හි පවතින දුර්වලතාවයන් මත නොවන බව මාගේ හැගීමයි. මෙලෙස මෙම මාක්ස්වාදී බුද්ධිමතුන් සහ පක්ෂ වල ඉහල න්‍යායාචාරයන්ට තම පන්තිය සංවිධානය කොට ගත නොහී මංමුලාවන්ට පත්ව ඇත්තේ පවතින වාස්තවික තත්ත්වයන් ගැලපා ගත නොහැකි බැවිනි. එසේ වීමට බලපානු ලබන ප්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක්කේ ධනේශ්වරය යන්න බොහෝ දෙනෙකු වටහාගෙන සිටින වැරදි සංජානනය නිසාවෙනි. බොහෝ දෙනෙකු පවතින තාක්ෂණික වර්ධනය ධනවාදය ලෙස සිතා සිටින බවයි මාගේ හැගීම. එයට මුලික වන්නේ සියලු තාක්ෂණික ඥානයන් අත් පත් කර ගනු ලබන්නේ ධනපතියන් නිසාවෙන් විය හැක. සියලු තාක්ෂණික මෙවලම් සහ දැනුමත් සියලු නව සොයා ගැනීම්ද සකල දේශවාසී මිනිස් වර්ගයාත් ස්වාභාවික පරිසරයත් සතු විය යුතු නමුදු ධනපතියන්ගේ ක්‍රය ශක්තිය මත ඔවුන් විසින් අත්පත් කර ගැනීම නොවැලක්විය හැකි අමිහිරි යතාර්ථයකි. ධනපතියන් කොතෙකුත් උත්සහ කලද තවමත් ඔවුනට රිසි සේ ලෝකය පුරා සංක්‍රමණය වීමට බාධාවන් රැසක් පවතී. ලතින් ඇමරිකානු, ආසියානු, අප්‍රිකානු හා අරාබිකරය තුලද ඔවුන්ට රිසි සේ සැරිසැරීමට අවකාශයක් තවමත් උදා කර ගත නොහැකිව ඇත්තේ ධනවාදය තුල පවතින ඌන සංවර්ධනය නැත හොත් ළදරු අවධිය නිසාවෙනි.

ධනවාදී සමාජ ක්‍රමයේ උච්චතම අවධිය වන විට ලෝකය තුළ කේන්ද්‍රයන් හෝ පරිවාරයන් නොපවතිනු ඇත යන්න මාගේ විශ්වාසයයි. ධනපතියන් පය ගසන සෑම පොළොවක්ම කේන්ද්‍රය වනු ඇත, සෑම රටක්ම කේන්ද්‍රයක් වනු ඇත. කේන්ද්‍රය සහ පරිවාරය මුල්ව ඇත්තේ රටක්, දෙශසීමාවක් මත නොවනු ඇත. ලොව පුරා ධනපතියන් කේන්ද්‍ර කොට කම්කරු පන්තිය, නිර්ධනයින් පරිවාරය වනු ඇත. මෙම ක්‍රියායාවලිය නොනැවතී ගලා යන විට ලොව කොතැනක ප්‍රශ්නයක් ඇති වුවද එය සමස්ත ධනපතියන් සලිත කල හැකි භූ චලනයක් වනු ඇත. එහෙත් වර්තමාන ළදරු ධනවාදී සමාජ ක්‍රමයේ යතාර්ථය තුල ලංකාවේ ප්‍රශ්නය එම දේශ සීමාවේ ප්‍රශ්නයක් මෙන්ම තුර්කියේ, සයිප්‍රසයේ, ඊජිප්තුවේ, ලිබියාවේ හෝ වෙනත් රටක එම දේශ සීමාවේ ජාතියේ හෝ ආගමේ හෝ වෙනත් ප්‍රශ්නයක් ලෙස ලඝු කිරීමට හැකියාවක් ලැබී ඇත. මෙම තත්ත්වය ඇති වන්නේ ධනවාදී සමාජ ක්‍රමයේ පවතින දියුණු තත්ත්වයක් මත නොව නොදියුණු බව නිසාවෙනි. එසේම මාක්ස්වාදී දේශපාලන පක්ෂයන්ගේද විශ්වීය අරමුණු පසෙක තබා තනි රටෙහි සමාජවාදී පාලනයක් උදෙසා කටයුතු කරමින් සිටිනුයේ ධනවාදී සමාජ ක්‍රමයේ පවතින නොමේරු තත්ත්වයන්ට සාපේක්ෂව ඔවුන්ද නොමේරු තත්ත්වයක පසු වන නිසාවෙනි.

නමුත් අප වටහා ගත යුතුව ඇත්තේ වර්තමාන මාක්ස්වාදී පක්ෂයන්ගේ, චින්තකයින්ගේ සමාජ කාර්ය භාරය කුමක්ද යන්න පිළිබදවයි. හෙට දින සමාජවාදී රාජ්‍යයක් වෙනුවෙන් සිහින දැකීමට පෙර ඒ සදහා සුදානම් වීම අත්‍යවශ්‍යය කරුණක් වනු ඇත. මේ කතිකාව අවධීන්ගේ විප්ලවයක් වෙනුවෙන් කරනු ලබන යෝජනාවක් කොට ලඝු කොට පසෙකට කිරීමට වඩා ඒ පිලිබදව යම් සාකච්චාවකට තම පක්ෂය සුදානම් විය යුතුය. රතු කොඩියක්,කමිසයක්, තොප්පියක් පළදවා ලක්ෂ ගණනක මිනිස් ශරීර තම වේදිකාව ඉදිරියේ පෙළ ගස්වා සිටීම ඔවුන්ට ලබා දෙන දැනුම කුමක්ද යන්න විමසා ගත යුතුව ඇත. සමාජවාදයේ යතාර්ථයක් කොට ගැනීමටනම් එය කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් දක්වා පරිවර්තනය කර ගැනීමටනම් වර්තමානයේ ඔවුන් සතු සමාජ වගකීම කුමක්ද යන්න හදුනා ගත යුතුව ඇත. ඒ සදහා මුලිකවම කල යුතු ප්‍රධානතම කාර්ය වනු ඇත්තේ මාක්ස්වාදී චින්තාව හැකි තරම් සමාජය වෙත මුදා හැරීමයි.මාක්ස්වාදී න්‍යාය න් උපරිමයෙන් තම පාක්ෂකයින්ට උගැන්වීමයි. ඒ දැනුම තුලින් වර්තමාන ධනවාදී ක්‍රමය හැදෑරීමයි. එය එක රටක එක දේශපාලන කණ්ඩායමක් අතින් සිදු වුවද නිසි ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වන්නේ තනි රටේ සමාජවාදී සිතුවිල්ල යතාර්ථයක් නොවන නිසාවෙන්ය. එය සමස්ත ලෝකය පුරා වෙසෙන පීඩිත පන්තීන්ගේ එකමුතුවක් මත මිසෙක එක භුමි ප්‍රදේශයක සිදු කරන අරගලයක් මගින් ජය ගත නොහැකිය යන්න ලෝක යථාර්ථයයි.

ලොව පුරා ධනවාදී සමාජ ක්‍රමයම තවමත් නිසි ආකාරව ක්‍රියාත්මක නොවන යතාර්ථයක් තුල ඉන් ඉදිරි සමාජ ක්‍රමයක් ගැන සිතීමටනම් එක්කෝ ධනවාදය සංවර්ධිත මට්ටමට පැමිණෙන තෙක් පන්තිය ක්‍රම ක්‍රමයෙන් සංවිධානය කර ගත යුතුය. නැත හොත් ඉදිරි පිමි කිහිපයක් එක වර පැනීම සදහා අවශ්‍යය කරනු ලබන ශක්තිය ජවය සපුරා ගත යුතුය. එම ශක්තිය පන්තිය වෙත සම්ප්‍රේෂණය කරවීමට නම් ඉගෙන ගත යුතුය, ඉගැන්විය යුතුය, එම දැනුම බෙදා හල යුතුය. ලෝකය පුරා වෙසෙන සමාජවාදී ක්‍රියාදරයන්ගේ එකමුතුව මෙන්ම සාමුහික ප්‍රයත්නයක් මත මිසක මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ගනු ලබන සෑම ප්‍රයත්නයක්ම ඉදිරිගාමි වනවාට වඩා තව තවත් පසුගාමී තත්ත්වයන් යටතේ අවසන් වනු ඇත.

අජිත් දසනායක. Ajith Dasanayaka

සබැදි ලිපි : මේ ධනවාදයේ උච්චතම අවධියද ? – 01

Comments

comments