අල්ලස් ලෙස ශ්‍රී ලංකාවේ සුපිරි නිවාඩුවක් ගත කළ විදෙස් මන්ත්‍රි මාට්ටු – මෙරට හිටපු මන්ත්‍රිවරයෙකුගේ නමත් එළියට

සන්තෝසමක් ලෙස ශ‍්‍රී ලංකාවෙන් ලැබුණු සුඛෝපභෝගී නිවාඩුවක් සම්බන්ධයෙන් උතුරු අයර්ලන්තයේ මන්ත‍්‍රිවරයකුට එරෙහිව එරට පාර්ලිමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අයර්ලන්ත මන්ත‍්‍රිවරයාට මෙම සුපිරි නිවාඩුව ලැබී තිබුණේ රහසිගත වෙළෙඳ ගිවිසුමක කොන්ත‍්‍රාත්කරුවකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ලද සන්තෝසමක් ලෙසයි.

ඊට අදාළ රහසිගත සාකච්ඡාව සිදුව ඇත්තේ යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත් වීමෙන් පසුව ඇතිකර ගත් වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් බවද වාර්තා පළවනවා.

මන්ත‍්‍රිවරයාගේ සුඛෝපභෝගී නිවාඩුව සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදී ඇත්තේ මෙරට හිටපු මන්ත‍්‍රිවරයකු වූ සජින් වාස් ගුණවර්ධන බවටයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුට ලැබුණු දෙවැනි නිවාඩුව ගතකිරීමට මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් මතුව ඇති ආන්දෝලනාත්මක තත්වයත් සමග අදාළ මන්ත‍්‍රිවරයා එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අයර්ලන්ත මන්ත‍්‍රිවරයාට සහ ඔහුගේ පවුලේ අයගේ එක් නිවාඩුවක් සඳහා වෙන්කර ඇති මුදල බි‍්‍රතාන්‍ය පවුම් ලක්ෂයක්.

ඉයෑන් පෙස්ලි නැමැති මෙම අයර්ලන්ත මන්ත‍්‍රිවරයා 2013 වසරේදී ද ශ‍්‍රී ලංකාවේ සුපිරි නිවාඩුවක් ගතකර තිබුණා. එහිදී ලබාදුන් පහසුකම් සඳහා ස්තූතිය පළකරමින් ඔහු, සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත‍්‍රීවරයාට එවූ ඊමේල් පණිවුඩයක්ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය ප‍්‍රසිද්ධ කර තිබෙනවා.

මෙම සංචාර හා රහසිගත වෙළෙඳ ගනුදෙනු පිළිබඳ හෙළිදරව් වීමෙන් පසුවයි එරට පාර්ලිමේන්තුව ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

Comments

comments