‘උ.කොරියාව හා ඇමරිකාව’ යුදමය හිස්ටීරියා රෝගයකින් පෙළෙනවා : රුසියන් ජනපති

උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන වෙත පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් එරටට තවදුරටත් සම්බාධක පැනවීම කිසිදු ආකාරයක තේරුමක් නොමැති ක්‍රියාවක් බවත්, ඔවුන් තණකොළ හෝ ආහාරයට ගෙන තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයනු ඇති බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් පවසයි.

පසුගිය ඉරිදා දිනයේදී උතුරු කොරියාව නවතම හයිඩ්‍රජන් න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමක් සිදුකළ අතර, මේ තත්ත්වය තුළ උතුරු කොරියාවට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත නව යෝජනාවලියක් ගෙන ආ බව ඇමෙරිකා එක්සත් ජනපදය කියා සිටියේය.

ඒ අනුව, මෙම අර්බුදය හමුවේ දෙපාර්ශ්වයම යුදමය හිස්ටීරියා රෝගයකින් පෙළීම ලෝකයම මහා විනාශයක් කරා කැඳවන්නක් බවද පූටින් අවධාරණය කර සිටියේය.

රුසියානු නායකයා පෙන්වා දෙන්නේ මෙම අර්බුදයට එකම විසඳුම රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාමය විසඳුමක් පමණක් බවයි.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකතුවෙන් සැදි බ්‍රික්ස් රාජ්‍යයන්ගේ සමුළුවට එක්වෙමින් රුසියානු ජනපතිවරයා චීනයේදී මෙම අදහස් දැක්වීම කළේය.

කෙසේ වෙතත්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම සෙසු රාජ්‍යයන් කුපිතකරවනසුලු ක්‍රියාවක් බවද පවසා සිටි පූටින්, මේ අවස්ථාවේදී ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීම කිසිදු ආකාරයකින් ප්‍රයෝජනවත් හෝ ඵලදායී ක්‍රියාවක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

Comments

comments