හොරකම් කළ ආත්ම

ජායාරූපය: යුද්ද විසින් බිලිගත් අය පිළිබඳ මතක සමාජීය අාත්මයෙහි සදාකාලික වෙයි මේ මුල්ලවයිකකාල්හි  පිහිටි එම මතකයේ සංකේතයකි. (c)s.deshapriya.

බලහත්කාරයෙන් අතුරුදන් කළවුන් සිහිපත් කරන ජාත්‍යන්තර දිනය අදයි.

රටේ තැනින් තැන පහනක් දැල්වෙනු ඇත. හොරා ගත් ආත්ම වල හැඩය මෙන්ම රටාව ගැන සිහිපත් කෙරෙනු ඇත.

එසේම, ලොව පුරාද තැනින් තැන අතුරුදන් වූවන් සිහිපත් කරනු ඇත. ජීවත් වීමට ඇති මූලික අයිතිය අහිමි කරමින් ඔවුන්ගේ ශරීර මෙන්ම ආත්ම කිසිදිනක නොදකින දෑ බවට පත්කරනු ලැබූ බරපතළ පරිපාලනයන් විසින් දායාද කරනු ලැබූ නීරස අත්දැකීම් ගැන සිහිපත් කරනු ඇත.

බලහතකාරයෙන් අතුරුදන් කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාවට අනුව, ලෝකයේ බොහෝ රටවල් පරයා ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව ලෝකය හමුවේ තබා ඇති ඛේදනීය තත්වය කෙබඳුද යන්න කිසිවෙකුට අමුතුවෙන් පැහැදිළි කළ  යුතු නැත.

අහිමිවීම හේතුවෙන් ගැඹුරට විහිදී යන වේදනාව ගැන සියල්ලන්ටම අවබෝධයක් තිබේ. ඒ තුළ මනුෂ්‍යත්වය යාන්ත්‍රික මෙවළමක් බවට පත් වී තිබේ. අපට ප්‍රතික්ෂේප කළ නොහැකි ඇත්ත කුමක්ද?

 දහස් ගණනින් වැළලුනු රටක;

මිනියක් සොයා එම මළ කඳට අවසන් ගරුත්වය ලබා දීමට ඉඩක් නොලද රටක;

තම අතුරුදන් වූ ඥාතියා සොයා බුදුන් සහ දෙවියන් යැදීම පමණක් කිරීමට ඉතුරු කළ රටක;

බුදුන් සහ දෙවියන් අභිමුඛව යැදීමේ අවසානය මානසික ව්‍යාකූලතාවයෙන් අවසන් වූ රටක;

නිදහස වෙනුවට භීතිය පැළ පදියම් කළ රටක;

මනුෂ්‍යත්වය වූ කලී අලංකෘත වාග්මාලාවන් විසින් සත්‍ය යටපත් කරනු ලැබූවන් විසින් නිර්මාණය කරනු ලැබූ හුදු මෙවලමක්ද යන්න මතුවන ප්‍රධාන ගැටලුවකි.

රටක් ලෙස සහ ජන කණඩායමක් ලෙස අපි විසින් සෑම විටම අමතක කිරීමට වෙර දරණු ලබන මූලික කාරණයකි.

එනම්, වේදනාව වූ කලී සෑම අයෙකුටම පොදු කාරණයක් යන්නය. ජාති භේද, වර්ග භේද හෝ වෙනත් විශේෂණයන් වේදනාවට නැත. වේදනාවේ සංවේදනය වේදනාවම වේ. වේදනාවේ විශේෂණය වේදනාවම වේ.

අනෙකාගේ අයිතීන් උල්ලංඝනය කරන්නන් පමණක් නොව අනෙකාගේ අයිතීන් ගැන වහරන ඇතැමුන්ද මෙම මූලික කාරණය තම වාසියට මිස පොදු ජන අභිනවය වෙනුවෙන් සහ මනුෂ්‍යත්වයේ උන්නතිය වෙනුවෙන් භාවිතා නොකරති.

මවා ගනු ලබන සේයාරුවක් දෑතෙහි තබා දිවි ඇතිතුරා තම නැති වූ සගයා හෝ ඥාතියා සොයා උහුල්ලන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ දෑස් වලට උනනු ලැබූ කඳුනු වලින් තෙල් වූ මහපොළවක් ඇති රටක අතුරුදන්කිරීමේ ඇති පාපයේ ගැඹුර අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එය බොහෝ දෙනෙකුගේ ජීවන අත්දැකීම වේ.

සමාජය හමුවේ සිදු වූ බරපතළ අපරාධයක් යළිත් සිදු නොවීමේ මූලික කාර්යය වෙනුවෙන් කටයුතු කිරීම සියල්ලටම පැවරී ඇති මූලික වගකීමකි. එය නිසි පරිදි ඉටුවීමට නම් සත්‍යය වසන් කළ නොහැකිය.

කළ යුත්තේ සත්‍යය හමුවේ එකාවන්ව පොදු අදහසක් මූලික කරගනිමින් නැගී සිටීමට අවැසි අවකාශය සකස් කිරීමය. එම පොදු එකඟතාව බිඳී විසිරෙන තරමට යුක්තියට ඇති ඉඩ අපෙන්  ඈත්වනු ඇත. එවිට, අයුක්තිය රජයන සමාජ භීතිය විවිධ හැඩයන්ගෙන් සමාජය පුරා සැරිසරා තම සුපුරුදු දඩයම කරනු ඇත.

දස දහස් ගණනින් අතුරුදන් කොට ඔවුන්ගේ ආත්ම හොරකම් කරනු ලැබූ රටක වෙසෙන අපට කීමට ඒ හැර වෙනත් දෙයක් තිබේද?

| නිලන්ත ඉලංගමුව

Comments

comments